Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩාවේ මල් පිපෙන කාලය
දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලිය

මලල ක්‍රීඩාවේ මල් පිපෙන කාලය

editorial - 2024 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නිමාව දුටුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 9 ක් දිනාගැනීමෙන් පසුවය. එහෙත් තුන්පිම්ම ක්‍රීඩිකා මධුශානි හේරත් අබාධයකට ලක් නොවූයේ නම්, ඇයට ඇයගේ සාමාන්‍ය දුර පැනිය හැකිවූයේ නම්, තවත් රන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වන්නට තිබිණ. 

මධුෂානිගේ දුර පැනීමේ හොඳම දස්කම මීටර 6.32 ක් වන අතර චෙන්නායි නුවරදී රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ ප්‍රතික්‍ෂා යමුණාගේ දුර මීටර 5.79 කි. තුන් පිම්ම ඉසව්වේදී මධුෂානිගේ හොඳම දස්කම 13.13 ක් ලෙසින් සටහන් වෙද්දී දකුණු ආසියානු කනිෂ්ඨ ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඉන්දියාවේ රිෂිකා අවස්ථිට පැනගත හැකිවූයේ මීටර 12.76 කි.  

මීටර 100 ං 4 කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ පෙනෙන දුරකිනි. 
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් 9 ට අමතරව රිදී පදක්කම් 9 ක් ද ලෝකඩ පදක්කම් 17 ක් ද ශ්‍රී ලංකාවට හිමිවිය. ශ්‍රී ලංකාවේ පදක්කම් එකතුව 35 කි. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටි එකම රට වන ඉන්දියාව රන් පදක්කම් 21 ක් සමගින් පදක්කම 48 ක් දිනාගත් නමුත් කෝටි 141 ක ජනතාවක් වෙසෙන ඉන්දියාව හා කළ තරගයේදී කෝටි 2.2 ක් සිටින ශ්‍රී ලංකාවේ දස්කම් ඉතාම ඉහළය. 

මේ ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවේ මල් පිපෙන කාලයයි. මල් මෝරා, ඵල හටගන්නා තෙක් පමණක් නොව, ඒ ඵල නිසි කලට පැසී දෝතට වඩිනා තුරුම ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාපිටියේ පිපුණු මේ මල් පරෙස්සමෙන් බලාගත යුතුව තිබේ. 

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය යනු දකුණු ආසියාවේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොටිල්ලයි. මෙතැන් සිට ඉදිරි දශක දෙකක පමණ කාලයේදී එකිනෙකා හා තරග කරන, සමස්ත දකුණු ආසියාවේම, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පළමු හමුවීමයි. 

දැනට මීටර 100 සහ මීටර 200 ඉසව් දෙකේම ශ්‍රී ලංකා වාර්තා (තත්පර 9.96 සහ තත්පර 20.13) හිමි යුපුන් අබේකෝන්ගේ මංගල අන්තර්ජාතික තරගවලිය වූයේත් 2013 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියයි. එහිදී තුන් පිම්ම ඉසව්වෙන් තරග කළ යුපුන් එහි සිව්වැනි ස්ථානය ලබාගත්තත්, එදා ලද පරාජයෙන් පාඩම් උගත් යුපුන්, පසුව මලල ක්‍රීඩා පිටියේ දිගු ගමනක් ගියේය. 

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා චෙන්නායි නුවරට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් වඩාත්ම වැදගත් පිරිස වන්නේ ලෝකඩ පදක්කම් දිනාගත් 17 දෙනාය. මක්නිසාද යත් ඉදිරියේදී රන් පදක්කම් දිනාගන්නේ ඔවුන් බැවිනි. 

රන් සහ රිදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කෙසේ හෝ තම ගමන යති. එබැවින් වඩාත් හොඳින් බලාගත යුත්තේ ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩකාවන්ය. මේ ලෝකඩ පදක්කම් 17 රන් පදක්කම් බවට පරිවර්තනය කිරීම පහසුවෙන්ම කළ හැකි නමුත් එය ඇත්තේ පුහුණුකරුවන් අතය. පුහුණුකරුවා අසරුවකු වේ නම්, අසු මරා හෝ තරගය ජයගන්නවා මිස අසරුවාට අසුගෙන් ඵලක් නැත. එබැවින් ඒ ගැන බලාගැනීම මලල ක්‍රීඩා ආයතනය සතු වගකීමකි. 

විශේෂයෙන්ම කිය යුත්තේ මෙම කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට දැන්ම මුදල් ත්‍යාග පිරිනැමීම අතිශය අවදානම් සහගත පියවරක් වන බවයි. ආසියානු ක්‍රීඩා තරගාවලියකින් හෝ ආසියානු ශූරතාවලියකින් මෙපිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් පුහුණුකරුවන්ටත් මුදල් ත්‍යාග පිරිනැමීම මලල ක්‍රීඩාව වලපල්ලට ඇද දැමීමකි. මක්නිසාද යත් අපට පහසුවෙන් ජයගත හැකි දකුණු ආසියානු කලාපයේදී පදක්කමක් දිනාගත් පමණින් සල්ලි මල්ලක් දිගු කළ සැණින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේත් ඉලක්කය වෙනස් වන බැවිනි. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම්, පෝෂණය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මුදල් අවශ්‍ය බව සැබෑවකි. ඒ අවශ්‍යතා සපුරාලිය යුතුය. විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතිවරුන්ගේ යටි අරමුණු මස්තකප්‍රාප්ත කරගැනීමේ ඉලක්ක ඇතිව, තවමත් වයස 18 නොපිරූ මෙම ක්‍රීඩික ක්‍රීඩිකාවන් අතට දහසින් බැඳි පියලි ලැබීමෙන් සිදුවන්නේ මලල ක්‍රීඩාවේ දිගු ගමනක් යාමේ අරමුණ ඉවත් වී ඒ වෙනුවට අලංකාර වාහනයක් මිලදීගෙන එයින් රට වටා සැරි සැරීමය. 

අන්තිමේදී මලල ක්‍රීඩාවත් නැත. වාහනයත් නැත. අධ්‍යාපනයත් නැත. 


දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

■ මෙරෝන් විජේසිංහ - මීටර 100 (තත්. 10.41)
■ ඉඳුසර විදූෂාන්  - මීටර 200 (තත් 21.33)
■ ශවිඳු අවිශ්ක - මීටර 800 (වි 1.49.83)
■ සඳුන් කෝෂල - මීටර 110 කඩුලු පැන දිවීම (තත් 14.06)
■ ලෙසඳු අර්ථවිදු - උස පැනීම (මීටර 2.17)
■ කාවින්ද දිසානායක - තුන් පිම්ම (මීටර 15.09)
■ ශ්‍රී ලංකා කණ්ඩායම - මීටර 100ං4 සහාය දිවීම (තත් 40.28)
■ අභිෂේකා ප්‍රේමසිරි - මීටර 800 (වි 2:10.17)
■ ශ්‍රී ලංකා කණ්ඩායම - මීටර 400ං4 සහාය දිවීම (වි 3:09.27)


අදහස් (0)

මලල ක්‍රීඩාවේ මල් පිපෙන කාලය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.