Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 රෝහිත් ඉන්දියාවේ ජයමඟ හෙළිකරයි

රෝහිත් ඉන්දියාවේ ජයමඟ හෙළිකරයි

editorial - 2019 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව හොඳම එක්දින ආරම්භක පිතිකරුවා ලෙසින් සැලකෙන රෝහිත් ෂර්මාගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය නිසා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දියානුවෝ කඩුලු හයක පහසු ජයක් ලබාගත්හ. සදම්ප්ටන්හිදී පැවැති මෙම තරගයේදී ලද පරාජයත් සමගින් දකුණු අප්‍රිකානු පිල මේ දක්වා සහභාගි වූ තරග තුනම පරාජය වී තිබේ. ඉන්දීය පිල පළමු තරගය ජයගත්තේය.

තරගාවලිය ආරම්භ කරමින් එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 104 කින් පරාජය වූ දකුණු අප්‍රිකානුවෝ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 21 කන් පරාජය වූහ.

ලකුණු 228 ක  ඉලක්කය කරා යාම ආරම්භයේදී තරමක් මන්දගාමී වූ ඉන්දීය පිතිකරුවෝ පළමු ඕවර 15 දී ලබාගත්තේ ලකුණු 51 ක් පමණි. එහෙත් ලකුණු වේගය වැඩි කිරීමට වඩා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගැනීම කෙරේ වැඩි උනන්දුවක් දැක්වූ ඉන්දීයානුවෝ තරගයේ අවසන් ඕවර 10 දී ප්‍රහාරයට අවශ්‍ය වාසිදායක තත්ත්වය රඳවාගත්හ.

පන්දු 144 කට මුහුණ දෙමින් සිය දෙවැනි ලෝක කුසලාන ශතකය ලබාගත් රෝහිත් ෂර්මා එක්දින තරග 207 කදී 23 වැනි ශතකය ලබාගනිමින් හිටපු නායක සව්රව් ගංගුලිගේ වාර්තාව පසුකර ගියේය. ෂර්මාගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහර දෙකකින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 54 ක් ව තිබියදී නායක විරාට් කෝලි දැවී ගිය නමුත් කණ්ඩායමේ බර කරට ගත් උපනායකයා, ලෝකේෂ් රාහුල් සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. පසුව හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සමග එක්වූ රෝහිත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය පිලට ජය මාවත විවර කර දුන්නේය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු’ප්ලෙසි පළමුවෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් නියමිත ඕවර 50 නිමා වන විට ඔවුන්ට ලබාගත් හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 227 ක් පමණි. තම කණ්ඩායම ඉතාමත් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියදී කගීසෝ රබාඩා (නොදැවී 31) සහ ක්‍රිස් මොරිස් (42) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු 225 සීමාවෙන් ඔබ්බට දකුණු අප්‍රිකානුවන් කැඳවාගෙන ගියහ.

ලකුණු 89 කට කඩුලු 5 ක් අහිමි කරගත් දකුණු අප්‍රිකානු පිල 135 ක් දක්වා ඉදිරියට ගෙන යාමට ඇන්ඩිල් පෙලුක්වායෝ සහ ඬේවිඞ් මිලර් සමත් වූ නමුත් මිලර් පිටියෙන් ඉවත් කරගත් ඉන්දියානුවෝ තව දුරටත් ග්‍රහණය දැඩි කළහ. එහෙත් අවසන් මොහොතේදී කණ්ඩායමට එක්වූ ක්‍රිස් මොරිස් (42) සහ කගීසෝ රබාඩා එක්ව ඉන්දියානුවන් නොසිතූ සටනක් ගෙන යමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.  

දකුණු අප්‍රිකානුවන් අන්ද මන්ද කළ පන්දු යැවීමක නිරත වූ යුෂ්වේන්ද්‍ර චාහල් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගත්තේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි.

චාහල්ට සිව්වැනි කඩුල්ල හිමිකර දෙමින් ඇන්ඩිල් පෙලුක්වායෝ පිටියෙන් ඉවත් කළ මහේන්ද්‍ර සිං දෝනි පළමු ශ්‍රේණියේ එක්දින තරග වලදී සිය 139 වැනි ස්ටම්ප් කිරීම වාර්තා කරමින් පාකිස්තානයේ මොයින් ඛාන් හා සමතැන් ගත්තේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම වේලාසනින් දැවී ගියද තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක ෆෆ් ඩු’ ප්ලෙසි (38) සහ රාසි වැන්ඩර් ඩසන් (22) දකුණු අප්‍රිකානු ඉනිම පිළිසකර කළහ. එහෙත් 20 වැනි ඕවරයේ පළමු පන්දුවෙන්ම වැන්ඩර් ඩසන් පිටියෙන් ඉවත් කළ ඉන්දීය පා දඟ පන්දු යවන්නා එම ඕවරයේ අවසන් පන්දුවෙන් ෆෆ්ගේ ඉනිම නිමා කළේය. ජේ.පී. ඩුමිනි ලකුණු 3 කට පිටියෙන් ඉවත්වීමත් සමගින් දිගු ඉනිමක් කරා යාමට තැබූ දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු සීසීකඩව ගියේය.


දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 227 යි
(ක්වින්ටින් ඩි’කොක් 10, ෆෆ් ඩු’ප්ලෙසි 38, රාසි වැන්ඩර් ඩසන් 22, ඬේවිඞ් මිලර් 31, ඇන්ඩිල් පෙලුක්වායෝ 34, ක්‍රිස් මොරිස් 42, කගීසෝ රබාඩා නොදැවී 31, බුවනේෂ්වර් කුමාර් 44/2, ජස්ප්‍රීට් බුම්රා 35/2, යුෂ්වේන්ද්‍ර චාහල් 51/4)

ඉන්දියාව - ඕවර 47.3 කදී කඩුලු 4 ක් දැවී 230
(රෝහිත් ෂර්මා නොදැවී 122, විරාට් කෝලි 18, ලෝකේෂ් රාහුල් 26, මහේන්ද්‍ර සිං දෝනි 34, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 15)

 

..


අදහස් (0)

රෝහිත් ඉන්දියාවේ ජයමඟ හෙළිකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.