Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව World Cup 2019 ඉන්දියාවට ලකුණු 11 ක තියුණු ජයක්

ඉන්දියාවට ලකුණු 11 ක තියුණු ජයක්

editorial - 2019 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(සැකසුම - ශානුක අරවින්ද)

ඕවර 49.5 කදී - ඇෆ්ඝනිස්තානය 213/10
(ඉක්‍රම් අලී ඛාන් නොදැවී 07, මොහොමඞ් සාමි 40/4)

තරගය ජයගැනීම සඳහා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මොහොමඞ් සාමි අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ඕවරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට මොහොමඞ් නබී සමත් විය.

කෙසේ වුවත් දෙවැනි තෙවැනි පන්දුවේදී ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි හර්දීක් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමින් නබී ලකුණු 52 කට දැවී යෑමත් සමග ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ අවසන් ජයග්‍රාහී බලාපොරොත්තුවත් සුන්වී ගියේය.

ඉන් නොනැවතුන මොහොමඞ් සාමි, එම ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී අෆ්ටාබ් අලාම්ගේ සහ මුජිබුර් රහමන්ගේ කඩුලු බිඳ දමමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීමටද සමත් විය. ඒ සමගම එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් සිවුවැනි ඉන්දීය ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.

...........................................................................................................................................................................................


නජිබුල්ලා - රෂීඩ් දැවී යති

ඕවර 46 කදී - ඇෆ්ඝනිස්තානය 193/7
(මොහොමඞ් නබී 36, ඉක්‍රම් අලී ඛාන් 36)

ඉනිමේ 41 වැනි ඕවරයේ සිට 46 වැනි ඕවරය දක්වා ඕවර 6 තුළදී ලකුණු 36 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්තාන පිතිකරුවෝ සමත් වූහ. එහිදී කඩුලු 2 ක් දවාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

හර්දීක් පාණ්ඩ්‍යා යැවූ 41 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී යුස්වේන්ද්‍ර චාහල් අතට උඩ පන්දුවක් දෙමින් නජිබුල්ලා සද්රාන් ලකුණු 21 කට දැවී ගියේය. පන්දු 23 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

යුස්වේන්ද්‍ර චාහල් යැවූ 46 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ලකුණු 14 ක් ලබා සිටි රෂීඞ් ඛාන් ඇෆ්ඝනිස්තාන ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී ගිගේය.

...........................................................................................................................................................................................

නබී - නජිබුල්ලා සාර්ථක සම්බන්ධතාවක

ඕවර 40 කදී - ඇෆ්ඝනිස්තානය 157/5
(මොහොමඞ් නබී 25, නජිබුල්ලා සද්රාන් 16)

ඉනිමේ 31 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු 50 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්තාන පිතිකරුවෝ සමත් වූහ. එහිදී ඉන්දීය කණ්ඩායමට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

මොහොමඞ් නබී සහ නජිබුල්ලා සද්රාන් එක්ව 40 වැනි ඕවරය නිමාවන විට ඇෆ්ඝනිස්තාන ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 27 කි.

යුස්වේන්ද්‍ර චාහල් යැවූ 35 වැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීම නිසා ලකුණු 8 ක් ලබා සිටි අස්ගර් ඇෆ්ගන් ඇෆ්ඝනිස්තාන ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

...........................................................................................................................................................................................

...........................................................................................................................................................................................


බුම්රා ඇෆ්ඝනිස්තානය අමාරුවේ දමයි

ඕවර 30 කදී - ඇෆ්ඝනිස්තානය 107/4
(අස්ගර් ඇෆ්ගන් 01, මොහොමඞ් නබී 00)

ඉනිමේ 21 වැනි ඕවරයේ සිට 30 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 36 ක් පමණි. එහිදී කඩුලු 2 ක් දවාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ජස්ප්‍රීට් බුම්රා යැවූ 29 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි යුස්වේන්ද්‍ර චාහල් අතට උඩ පන්දුවක් දෙමින් රාමට් ෂා ලකුණු 36 කට දැවී ගියේය. පන්දු 63 කට මුහුණදුන් ඔහු හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.

එම ඕවරයේම පස්වැනි පන්දුවේදී බුම්රා අතටම උඩ පන්දුවක් දෙමින් හස්රතුල්ලා ශහිදී ලකුණු 21 කට දැවී ගිය අතර පන්දු 45 කදී වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.

...........................................................................................................................................................................................

නයිබ් ලකුණු 27 කට දැවී යයි

ඕවර 20 කදී - ඇෆ්ඝනිස්තානය 71/2
(රාමට් ෂා 19, හෂ්මතුල්ලා ශහිදි 03)

ඉනිමේ 11 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 34 ක් පමණි. එහිදී කඩුල්ලක් දවාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

හර්දීක් පාණ්ඩ්‍යා යැවූ 17 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි විජේ ශංකර් අතට උඩ පන්දුවක් දෙමින් ගුලාබ්දීන් නයිබ් ලකුණු 27 කට දැවී ගියේය. පන්දු 42 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

හර්දීක් පාණ්ඩ්‍යා යැවූ 12 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 12 ක් රැස්කිරීමට ගුලාබ්දීන් නයිබ් සහ රාමට් ෂා සමත් වූහ.

...........................................................................................................................................................................................

ඇෆ්ඝනිස්තානයෙන් සාර්ථක ආරම්භයක්

ඕවර 10 කදී - ඇෆ්ඝනිස්තානය 37/1
(ගුලාබ්දීන් නයිබ් 10, රාමට් ෂා 05)

මුල් ඕවර 10 තුළදී ලකුණු 37 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්තාන පිතිකරුවෝ සමත් වූ අතර එහිදී ඉන්දීය පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

මොහොමඞ් සාමි යැවූ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ දැවටීම හේතුවෙන් ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි ලකුණු 10 කට දැවී ගියේය. පන්දු 24 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය.

මුල් ඕවර 10 තුළ යැවූ ඕවර 4 නිළකුණු ඕවරයක්ද සමගින් ලකුණු 6 කට සීමා කිරීමට මොහොමඞ් සාමි සමත් වූ අතර ජස්ප්‍රීට් බුම්රා යැවූ ඕවර 4 දීද ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේද ලකුණු 13 ක් පමණි.

...........................................................................................................................................................................................

ඇෆ්ඝනිස්තානයට ලකුණු 225 ක ඉලක්කයක්

ඕවර 50 කදී - ඉන්දියාව 224/8
(කුල්දීප් යාදව් නොදැවී 1, ජස්ප්‍රීට් බුම්රා නොදැවී 1)

තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් මොහොමඞ් සාමි එක් ලකුණකට දැවී ගියේය. එම ඕවරයේම නායක මොහොමඞ් නයිබ් යැවූ 50 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී එක්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිටි නූර් අලී සද්රාන් අතට උඩ පන්දුවක් දෙමින් කේදර් ජාදව් ලකුණු 52 කට දැවී ගියේය. පන්දු 68 කට මුහුණදුන් ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසීය.

අෆ්ටාබ් අලාම් යැවූ 49 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ඉක්‍රම් අලී ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් හර්දීක් පාණ්ඩ්‍යා ලකුණු 7 කට දැවී ගියේය.

දැවී යෑමට පෙර අෆ්ටාබ් අලාම් යැවූ 46 වැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් තනිවම ලකුණු 11 ක් රැස්කිරීමට කේදර් ජාදව් සමත් විය.

...........................................................................................................................................................................................

දෝනි ලකුණු 28 කට දැවී යයි

ඕවර 45 කදී - ඉන්දියාව 194/5
(කේදර් ජාදව් නොදැවී 32, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 1)

රෂීඞ් ඛාන් යැවූ 45 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ඉක්‍රම් අලී ඛාන්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 28 කට දැවී ගියේය. පන්දු 52 කදී වාර්තා වූ දෝනිගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

දැවී යෑමට පෙර අෆ්ටාබ් අලාම් යැවූ 43 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමග ලකුණු 11 ක් රැස්කිරීමට දෝනි සහ ජාදව් සමත් විය.

...........................................................................................................................................................................................

කෝලි ලකුණු 67 කට දැවී යයි

ඕවර 40 කදී - ඉන්දියාව 175/4
(මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 22, කේදර් ජාදව් නොදැවී 21)

ඉනිමේ 31 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු ඉන්දීය පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි. එහිදී කඩුල්ලක් දවාගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් විය.

මොහොමඞ් නබී යැවූ 31 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ෂෝට් තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි රාමට් ෂා අතට උඩ පන්දුවක් දෙමින් විරාට් කෝලි ලකුණු 67 කට දැවී ගියේය. පන්දු 63 කට මුහුණදුන් ඔහු සිය අර්ධ ශතකය හතරේ පහර 5 කින් සැරසුවේය.

රෂීඞ් ඛාන් යැවූ 37 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කේදර් ජාදව් (12) ලබාදුන් උඩ පන්දුවක් ෂෝට් මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි රාමට් ෂා අතින් ගිළිහෙයි.

...........................................................................................................................................................................................

කෝලි අර්ධ ශතකය ලබාගනී

ඕවර 30 කදී - ඉන්දියාව 133/3

(විරාට් කෝලි නොදැවී 66, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 3)

පන්දු 48 කදී හතරේ පහර 4 ක් සමග නායක විරාට් කෝලි සිය 52 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔහු පිට පිටම ලබාගත් තෙවැනි අර්ධ ශතකය ලෙසද එය සටහන් විය.

ඉනිමේ 21 වැනි ඕවරයේ සිට 30 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු 47ක් රැස්කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ. එහිදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

රාමට් ෂා යැවූ 27 වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් විජේ ශංකර් ලකුණු 29 කට දැවී ගියේය. පන්දු 41 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.

...........................................................................................................................................................................................

රාහුල් ලකුණු 30 කට දැවී යයි

ඕවර 20 කදී - ඉන්දියාව 86/2
(විරාට් කෝලි නොදැවී 44, විජේ ශංකර් නොදැවී 8)

ඉනිමේ 11 වැනි ඕවරයේ සිට 20 වැනි ඕවරය දක්වා ඕවර 10 තුළදී ලකුණු ඉන්දීය පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 41 ක් පමණි. එහිදී කඩුල්ලක් දවාගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් විය.
මොහොමඞ් නබී යැවූ 15 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි හස්රතුල්ලා සසායි අතට උඩ පන්දුවක් දෙමින් ලොකේෂ් රාහුල් ලකුණු 30 කට දැවී ගියේය. පන්දු 53 කදී වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.

...........................................................................................................................................................................................

ශර්මා ලකුණකට දැවී යයි

ඕවර 10 කදී - ඉන්දියාව 41/1
(ලොකේෂ් රාහුල් නොදැවී 20, විරාට් කෝලි නොදැවී 20)

මුල් ඕවර 10 තුළදී ලකුණු 41 ක් රැස්කිරීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූ අතර එහිදී ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

මුජීබුර් රහමන් යැවූ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුව කඩුල්ලේ දැවටීම හේතුවෙන් ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා එක් ලකුණකට දැවී ගියේය.

අෆ්ටාබ් අලාම් යැවූ 8 වැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමට කෝලි සහ රාහුල් සමත් වූහ. එම ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී පිට පිටම හතරේ පහර 2 ක් එල්ල කිරීමටද කෝලි සමත් විය.

...........................................................................................................................................................................................

ඉන්දියාව පන්දුවට පහරදීම තෝරාගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය අතර අද (22 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), ලොකේෂ් රාහුල්, රෝහිත් ශර්මා, විජේ ශංකර්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දීක් පාණ්ඩ්‍යා, කේදර් ජාදව්, කුල්දීප් යාදව්, මොහොමඞ් සාමි, යුස්වේන්ද්‍ර චාහල් සහ ජස්ප්‍රීට් බුම්රා

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම
ගුලාබ්දීන් නයිබ් (නායක), හස්රතුල්ලා සසායි, රාමට් ෂා, හෂ්මතුල්ලා ශහිදි, අස්ගර් ඇෆ්ගන්, මොහොමඞ් නබී, ඉක්‍රම් අලී ඛාන්, නජිබුල්ලා සද්රාන්, රෂීඞ් ඛාන්, අෆ්ටාබ් අලාම් සහ මුජිබුර් රහමන්

 

 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 11 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.