Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කී‍්‍රඩා ඇමතිගෙන් හදිසි නියෝගයක්

කී‍්‍රඩා ඇමතිගෙන් හදිසි නියෝගයක්

ශනුක අරවින්ද - 2016 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියලූම ක‍්‍රීඩා සංගම් මාසයක් ඇතුළත අති විශේෂ මහ සභාවක් පවත්වා ක‍්‍රීඩා පනතේ නව සංශෝධන එම සංගම්වල ව්‍යවස්ථාවට ඇතුළත්කර ක‍්‍රීඩා අමාත්‍යංශයට යොමු කළ යුතු බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (01) පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩා පනතේ විවාදයට තුඩු දුන් ඇතැම් වගන්ති සංශෝධනය කරමින් ‘අංක 1990/23 දරණ හා 2016.10.27 දිනැති නව ක‍්‍රීඩා නියෝග මාලාව’ අද මාධ්‍යයට ඉදිරිපත් කළේය.

මෙම නව ක‍්‍රීඩා නියෝග මාලාව කොටස් 6 කින් සහ උප ලේඛණ 3 කින් සමන්විත වේ.

පළමු කොටසේ නියෝග හයෙන් ජාතික ක‍්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීම, ජාතික ක‍්‍රීඩා සංගම් ව්‍යවස්ථාව, ජාතික ක‍්‍රීඩා සංගම්වල කාර්යය, බලතල හා කර්තව්‍ය, ක‍්‍රීඩා සංගම්වල තීරණවලට හෝ ක‍්‍රියාවන්ට එරෙහිව අභියාචනා කිරීමේ ක‍්‍රියාපටිපාටිය, නියෝග පරිච්චින්න කිරීම සහ අර්ථ නිරූපනයන් යන කරුණු දැක්වේ.

උප ලේඛණ තුනෙන් නියෝගවලින් දක්වා ඇති සියලූ ආකෘති පත‍්‍ර, ලියාපදිංචි ක‍්‍රීඩා සමාජවල නම් සහ ජාතික ක‍්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාවට අදාල විධිවිධාන යන කරුණු දැක්වේ.

නව ක‍්‍රීඩා සංශෝධනවලින් ක‍්‍රීඩා සංගමයක භාණ්ඩාගාරිකවරයකු ලෙස පත්වීමට විශේෂ වෘත්තිය සුදුසුකම් කීපයක් පනවා තිබීම කැපී පෙනේ.

ඒ අනුව ජාතික සංගමයක භාණ්ඩාගාරිකවරයකු ලෙස පත්වීමට නම් ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ සාමාජිකයකු හෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද සහතික ලත් ව්‍යාපාර ගණකාධිකාරී හෝ ඊට ඉහළ සහතිකයක් ලබා තිබීම හෝ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද බැංකුකරණ හා මූල්‍ය පිළිබද සහතිකයක් ලබා තිබීම අනිර්වාර්ය වේ.

සහකාර භාණ්ඩාගාරිකවරයකු ලෙස පත්වීමටද මූල්‍ය කළමණාකරණ ක්ෂේත‍්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් ඇති පුද්ගලයකු වීම අනිවාර්ය වේ.

සෑම නිලධාරියකුටම වසර 4 ක් නොඉක්මවන කාලසීමාවක් සදහා ධූරය දැරිය හැකි අතර තවත් එක් ධූරකාලයක් සදහා නැවත තෝරාපත්කර ගැනීමට සුදුස්සෙක් විය යුතු නමුත් එම නිලධාරියා අනුක‍්‍රමික හෝ අනුගාමී වශයෙන් කාලසීමාවක් සදහා නැවතත් ධූරයට පත්කර ගනු ලැබීම තහනම් වේ යැයි ජාතික ක‍්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාව සම්බන්ධ වගන්තියේ පස්වැනි අනු වගන්තියේ විශේෂ කරුණක් වශයෙන් සදහන් කර තිබේ.

ක‍්‍රීඩා සංගමයක් තනතුරු සඳහා නාම යෝජනා බාර දෙන අවස්ථාව වන විට වයස අවුරුදු 70 සම්පූර්ණ කළ පුද්ගලයකුටද තනතුරකට පත්විය නොහැක.

ජාතික ක‍්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාව සම්බන්ධ වගන්තියේ 11 වැනි අනු වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු, පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වී සිටීනම් තනතුරකට පත්විය නොහැකිය. එසේ වුවද එම පුද්ගලයා අදාල සංගමය විසින් ප‍්‍රවර්ධනය කරනු ලබන ක‍්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව හෝ අනුබද්ධ ක‍්‍රීඩා සංගම් හෝ සංවිධාන නියෝජනය කර ඇත්නම් හෝ ක‍්‍රීඩා අමාත්‍යංශය හෝ ජාතික ක‍්‍රීඩා සංගම් විසින් ලියාපදිංචි කරන ලද, පවත්වන ලද හෝ අනුමතකරන ලද යම් ප‍්‍රධාන ක‍්‍රීඩා තරගාවලියකට හෝ තරගයකට සහභාගි වී ඇත්නම් හෝ ඒ සදහා අදාල වන ආකාරයට නිකුත් කරන ලද සහතිකයක් සතුව සිටින්නෙකු නම් ඔහු සුසුස්සෙකු බවට පත්වේ යැයි විශේෂ වගන්තියක් ඇතුළත්ව තිබේ.  

ජාතික කී‍්‍රඩා පනතේ නව රෙගුලාසි හදුන්වාදීම වෙනුවෙන් අද පස්වරුවේ ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘මම දන්වා ඇතැම් ක‍්‍රීඩා සමාජවල ව්‍යවස්ථාවට අනුව දින 30 කට පෙර ලේඛණ යවන්න  ඕනේ. නමුත් අපි මීට පෙරත් මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා සමාජ දැනුවත් කර තිබෙනවා. මෙය පුළුවන් ඉක්මනට කරන්න  ඕන නිසයි මාසයක කාලයක් දුන්නේ’’

‘‘දැනට වසර දෙකට පත්ව සිටින නිලධාරීන් ඔවුන්ගේ කාලය අවසන් වූ පසුව නිලවරණ පැවැත්වීම ප‍්‍රමාණවත්’’ යැයි ඇමතිවරයා පැවසීය.
සංශෝධනවලට ඇතුළත්ව තිබෙන වයස 70 සීමාව පිළිබ`දව කළ විමසුමේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

‘‘මීට පෙර සදහන්ව තිබුණේ නිලධාරියකුට උපරිම වයස 75 යි. අපි දැන් 70 කරලා තියෙනවා. ක‍්‍රීඩා පරිපාලනයට එන්න ගොඩක් අය බලන් ඉන්නවා. තරුණ ශක්තියයි අපිට අවශ්‍යව තිබෙන්නේ. වැඩිහිටියන්ට පුළුවන් උපදේශක තනතුරුවල කටයුතු කරමින් අත්දැකීම් දෙන්න’’

‘‘අත්දැකීම් කියන්නේ වයස කියලා මම හිතන්නේ නෑ. අත්දැකීම් කියන්නේ ඔහු කිසියම් දේක ඉදලා ලබා ගන්නා හැකියාවයි. උදාහරණයක් ගත්තොත් බැංකුවක අවුරුදු 10 ක් වැඩ කළාම ඒ නිලධාරියාට ඒ ක්ෂේත‍්‍රය පිළිබදව දැනුමක් ඇති වෙනවා. ඒකයි අත්දැකීම් කියන්නේ’’

‘‘අපි මේක දේශපාලනයෙන් තේරුම් ගමුකෝ. දැන් දැක්කනේ තුන් පාරක් ඉන්න ගිහිල්ලා වෙච්ච දේ’’

දේශපාලකයන්ට ක‍්‍රීඩා සංගම්වල තනතුරුවලට පත්වීමට නොහැකි සේ වගන්තියක් එකතු කිරීම පිළිබ`දව ක‍්‍රීඩා අමාත්‍ය්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

‘‘පසුගිය කාලේ බොහෝ දෙනෙක් පැවසුවා ක‍්‍රීඩාව දේශපාලනීකරණය වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි ඒ වගන්තිය ඇතුළත් කළේ. අර්ජුන රණතුංග මහත්මයා ඒ සදහා අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගෙන තිබෙන නිසා අපිට ඒක වලක්වන්න කරන්න බෑ’’

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ තමන් නැවත ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට ඉදිරිපත් නොවන බවයි.

‘‘වසර තුනක පමණ කාලයක සිට පැවැති මේ ප‍්‍රශ්නය විසඳීමට වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා ගත් උත්සහය මම අගය කරනවා. අපි මීට පෙර සංශෝධනවල ක‍්‍රීඩා සමාජ සම්බන්ධයෙන් පැවැති වගන්තිවලට එරෙහිවයි කටයුතු කළේ’’

”මම මීළඟ නිලවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. මීට පෙර කැදවූ නිලවරණයටත් මම ඉදිරිපත් වුණේ නෑ’’

‘‘මාස තුනක පමණ කාලයකදී ඔලිම්පික් කමිටුවේ නිලවරණය පවත්වන්න පුළුවන්. මේ වන විට අපි මෙම සංශෝධන පදනම් කරගෙන ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව වෙනස් කර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර තිබෙනවා’’

‘‘නොවිස`දුණු ප‍්‍රශ්න ඇති මම හිතනවා 75% ක් පමණ විසදුණා කියලා. ඉතිරි වෙලා තියෙන ප‍්‍රශ්න අපිට ඔලිම්පික් කමිටුව සමඟ විසදා ගන්න පුළුවන්’’ යැයි ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩා පනතේ ඇතැම් වගන්ති හේතුවෙන් පසුගිය වසර තුනකට අධික කාලයක් ව්‍යාකූල තත්ත්වයක් පැවැති අතර මේ හේතුවෙන් අන්තර්ජාතික ක‍්‍රීඩා සමංගම් රැසක් ක‍්‍රීඩා කීපයක ශ්‍රී ලංකා සංගම් තහනම් කිරීමට ද පියවර ගත්තේය.

 


අදහස් (0)

කී‍්‍රඩා ඇමතිගෙන් හදිසි නියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.