Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂර්මා - දෝනි ඉන්දීය පිල දිනවති

ෂර්මා - දෝනි ඉන්දීය පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

නරඹන්න්නන්ගේ බාධා කිරීම මැද පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී  අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය තාවකාලිකව නතර කළ නමුත් නැවතත් ආරම්භ කරන ලද තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් අත්කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියේදී 3-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටත් ඉන්දීය පිල සමත් වූයේය.

නරඹන්නන්ගේ බාධා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැති ජාත්‍යන්තර තරගයක් නතර කරන ලද්දේ පළමුවැනි වතාවටය.

ලකුණු 218 ක ඉලක්කයක් හඹා යාමේදී ලකුණු 61 කට කඩුලු 4 ක් බිඳ වැටීම නිසා ඉන්දීය ඉනිම තරමක් සසළ විය. එහෙත් තමන්ගේ සිතිවිලි තැන්පත් කරගත් රෝහිත් ෂර්මා (නොදැවී 124) සහ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 67) කිසිදු අපහසුතාවකින් තොරව කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමිනි.

තරගයේ 44 වැනි ඕවරය අවසානයේදී නරඹන්නන්ගේ බාධා කිරීම නිසා තරගය අතරමග නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 කට ලකුණු 210 ක් ලබා සිටියේය.  විනාඩි 20 ක පමණ කාලයක් විනිසුරුවරුන් සහ ක්‍රීඩකයන් පිටිය මැදට වී බලා සිටියත් පිටියට හිස් බෝතල විසිකිරීමත් කෑකෝ ගැසීමත් නතර නොවූ හෙයින් තරගය අතර මග නවතා ක්‍රීඩකයෝ සහ විනිසුරුවරු ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

කාලය ඉතිරිවී තිබූ හෙයින් පිටියේ එක් පසෙක ප්‍රේක්‍ෂකයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තරගය නැවතත් ආරම්භ කිරීමෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 8 පන්දු හතකදී ලබාගැනීමට ඉන්දීය පිල සමත් විය.  
ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් නිමා වන විට ලබා සිටියේ කඩුලු 9 ක් දැවී ලකුණු 217 ක් පමණි. මෙම තරගයෙන් මෙන්ම තරගාවලියෙන්ද ජයගැනීම සඳහා ඉන්දීය පිලට අවශ්‍යව තිබූ වේගය ඕවරයකදී ලකුණු 4.36 ක් තරම් පහසු මට්ටමක විය.

මුල් පෙළ කඩුලු දෙකම ලකුණු 28 කට බිඳ වැටීම හේතුවෙන් දෙදිනකට කලින් සංචිතයට එක්වූ චන්දිමාල් සහ තිරිමාන්න දෙදෙනා මත කණ්ඩායම එසවීමේ බර පැටවී තිබුණ අතර එම පිතිකරුවන් දෙදෙනාම පන්දුවට පහර දුන්නේ කණ්ඩායම තුළ තමන්ගේ ස්ථානයත් රැකගැනීමේ අභියෝගයට මුහුණ දෙමිනි. ටෙස්ට් නායකයා වුවද එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් චන්දිමාල් මෙම තරගය සඳහා කැඳවන ලද්දේ උපුල් තරංග තුවාල ලත් බැවිණි. කෙසේ වෙතත් චන්දිමාල් මුහුණ දුන් පන්දු අතුරින් කිහිපයකට තනි ලකුණු හෝ ලැබුණේ නම් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඊට වඩා ඉහළ යාමට තිබිණ.

දෙදෙනා අතර පැවැති තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 72 ක් වූ නමුත් ඒ වෙනුවෙන් වැයවූ පන්දු සංඛ්‍යාව නිසා ශ්‍රී ලංකා පිලට හිස එසවීමට තිබූ අවස්ථාව ගිළිහී ගියේය. මෙම ලකුණු 72 ක සම්බන්ධතාව වෙනුවෙන් ඕවර 18 ක් වැයවූ අතර එම කාලය ඇතුළතදී චන්දිමාල් ලබාගත්තේ ලකුණු 27 ක් පමණි. අවසානයේදී චන්දිමාල් දැවී යන විට පන්දු 71 කට මුහුණ දී සිටි ඔහු ලබා සිටියේ ලකුණු 36 ක් පමණි.

ලකුණු 25 ක් ලබා සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් දකුණතේ මහපටැඟිල්ලේ වැදීම නිසා මහත් වේදනාවට පත් චන්දිමාල් එයට වේදනා නාශක දියරයක් ඉසීමෙන් පසුව ඇඟිල්ල  ප්ලාස්ටර් වලින් ඔතාගනිමින් නැවතත් තරගයට පිවිසියේය. එහෙත් පසුව වාර්තාවූයේ පන්දුව වැදීම හේතුවෙන් චන්දිමාල්ගේ මහපටඟිල්ලේ සියුම් පිපිරීමක් ඇතිවී තිබෙන බවයි.

මාස 20 කට පසුව එක්දින කණ්ඩායමට එක්වූ ළහිරු තිරිමාන්න අති විශිෂ්ට පුනරාගමනයක  යෙදෙමින් ලකුණු 80 ක් ලබාගත්තේ චිත්තාකර්ශනීය හතරේ පහර 5 ක් සහ හයේ පහරක්ද ඊට ඇතුළත් කරමිනි. තිරිමාන්නගේ ලකුණු 80 ට පන්දු 105 ක් වැයවූ නමුත් ඒ වන විට පැවැති තත්ත්වයත් ශ්‍රී ලංකා පිලේ පසුපෙළ පිතිකරුවන්ගේ තත්ත්වයත් අනුව අවදානමකට මුහුණ දීමත් අවදානම් සහගත විය.

තිරිමාන්න දැවී ගියේ 40 වැනි ඕවරයේදීය. ඒ වන විටත් කඩුලු 5 ක් ඇතැතිව තිබුණ නමුත් එතැන් සිට ශ්‍රී ලංකා පිලට එක්වූයේ ලකුණු 58 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිටම මන්දගාමී විය. පළමු ඕවර 10 නිමා වන විට යැවුණු පන්දු 60 න් පන්දු 41 ක් ලකුණු ලබා නොගත් පන්දු විය. ඕවර 30 ක් අවසන් වන විට යැවූ පන්දු 180 කින් පන්දු 106 ක් නිස්කාරණේ කඩුලු රකින්නා අතට ඇදී ගොස් තිබුණු අතර ඉනිම අවසන් වනවිට පන්දු 308 (වයිඞ් පන්දු 8 ත් ඇතුළත්ව) කින් පන්දු 180 ක් ලකුණු ලබා නොගත් ඒවා විය. තත්ත්වය වඩාත් භයංකාර වූයේ ලකුණු ලබාගත් පන්දු 142 න් පන්දු 97 ක් තනි ලකුණු ලබාගත් පන්දු වීමයි.

මෙම තරගාවලියේ පළමු වතාවට කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චාමර කපුගෙදර පළමුවෙන් පන්දුවට පහර  දීම තෝරාගත් නමුත් ආරම්භක පිතිකරු නිරෝෂන් දැක්වැල්ල ලකුණු 13 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකිවූයේ එකම ලකුණක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම එඩිතර තීරණයක් ගනිමින් ආරම්භක පිතිකරුවාගේ ස්ථානය දිනේෂ් චන්දිමාල්ට බාර දුන්නේය. ආරම්භයේදී සන්සුන් පිතිකරුවකු වන චන්දිමාල්ට සිය ඉනිම ගොඩනැංවීම සඳහා ඕවර 50 ක කාලයක් දුන්නේය. අනෙක් ආරම්භක පිතිකරුවා වන නිරෝෂන් දික්වැල්ල වමත් පිතිකරුවකුද වන හෙයින් ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර වමත් - දකුණත් සම්බන්ධතාව පවත්වාගැනීමත් චන්දිමාල් ආරම්භක පිතිකරුවා කිරීමේ තවත් අරමුණකි. එසේ වුවත් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැවැති වමත් - දකුණත් සම්බන්ධතාව ඕවර 4 ක් යාමටත් මත්තෙන් නිමා විය.

 

 

ශ්‍රී ලංකා - ඉන්දීය තෙවැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

ෂර්මා - දෝනි ඉන්දීය පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.