Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විශාලතම මුදල ගෙනාවේ මමයි

විශාලතම මුදල ගෙනාවේ මමයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරයට තරග කිරීමට සූදානමින් සිටි මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා පත්කරන ලද අභියාචනා කමිටුවේ නිර්දේශය මත මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව මේ වන විට ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතත් ඒ සම්බන්ධයෙන් තමන්ට සාධාරණය අපේක්‍ෂා කරමින් අධිකරණය හමුවට යන බව මොහාන් ද සිල්වා මහතා පවසයි.

මෙම සම්මුඛ සාකච්ඡාව කරන ලද්දේ මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව ක්‍රීඩා ඇමතිවරයා විසින් ප්‍රතිෂේප කිරීමට පොරතුව වන හෙයින්, මොහාන් ද සිල්වා පර්ශ්වය වෙනුවෙන් මෙම සම්මුඛ සාකච්ඡාව පළ කරමු. ක්‍රිකට් නිලවරණය ඉලක්ක කරමින් ‘ලංකාදීප’ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් මෙසේ පිළිතුරු සැපයීය.


01. ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණයේදී එක පිලක තරග කළ පිරිස මෙවර පාර්ශව දෙකක් ලෙස තරගයට ඒමට හේතුව මොකක්ද?
අතුරු කමිටු තිබිලා 2016 වසරේ නිලවරණය පැවැත්වුයේ වසර දහයකට විතර පසුවයි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම සඳහා අපේ කණ්ඩායම මෙහෙවරක් ඉටු කළා. ඒ අවස්ථාවේදී අපේ ප්‍රධානම හතුරා හැටියට අපි දැක්කේ අතුරු කමිටුවයි. ඒ නිසා අපි ඒකට විරුද්ධව සාමාජිකයන්ගේ අනන්‍යතාව රැකගැනීම සඳහා අපි එකතු වෙලා තරග කළා.

ජයන්ත ධර්මදාස මහත්මයා අපි එක්ක වැඩ කළා. අපේ පරිපාලනය කොටස් හතකට වෙන් කරලා තිබුණා. අන්තර්ජාතික ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, පරිපාලනය, මූල්‍ය ආදි වශයෙන්.

ජයන්ත ධර්මදාස මහත්මයා තමයි අන්තර්ජාතික ක්‍රිකට් බාරව කටයුතු කළේ. අපි ඕස්ටේ්‍රලියාව තරග 3-0 කින් පරාජය කරමින් හොඳට කළා. නමුත් ටික කාලයක් යන විට අපේ අන්තර්ජාතික ක්‍රිකට් අගාදයකට පත්වෙනවා. එහිදී පුහුණුකරුවන් සහ කළමණාකරුවන් ගැන අදහස් මතුවුණා.

ජයන්ත ධර්මදාස මහත්මයා යන්න එක හේතුවක් තමයි අපි අසංක ගුරුසිංහ මහත්මයා ගෙන ඒම. ඔහු බලාපොරොත්තු වුණා බන්දුල වර්ණපුර මහත්මයා ගේන්න. ගැටලු ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වුණා ඔය සිද්ධිය.

ඒ වගේම ජයන්ත මහත්මයා චෝදනා කරලා තිබුනා රැස්වීම් පත්වන්නේ රාත්‍රී කියලා. අපිත් ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. සුමතිපාල මහත්මයා පාර්ලිමේන්තුවේ වගකිවයුතු ධූරයක් දැරුවා. පාර්ලිමේන්තුව අවසන් වෙලා එනවිට රාත්‍රී හත විතර වුණා. අපි ඉතින් රෑ වෙනකල් වැඩ කළා. ජයන්ත ධර්මදාස මහත්මයා ඒකට කැමති වුණේ නෑ.

සේවකයන් බඳවා ගැනීමේදී දෙපාර්ශවය අතර පොඩි මත බේදයක් තිබුණා. විශේෂයෙන්ම අපි වැනේසා ද සිල්වාව අයින් කළා. ඒකට ඒ මහත්මයා කැමති වුණේ නෑ. අපිට ඔවුන්ව අයින් කරන්න හොඳ හේතු තිබුණා.


02. මොහාන් ද සිල්වා වන ඔබ ක්‍රිකට් සභාපති ධූරයට ජයන්ත ධර්මදාස මහතාට වඩා සුදුසු යැයි ඔබ තහවුරු කරන්නේ කෙසේද?
ඒක බොහෝම පහසු ප්‍රශ්නයක්. මම පොඩි කාළේ සිට ක්‍රිකට් ගහලා තියෙනවා. කොළඹ ආනන්ද විදුහල නියෝජනය කළා 1967 සිට 1970 දක්වා. මම ක්‍රීඩා කළ පළමු වසරේම මට වර්ණ ලැබුණා. මම 68, 69 සහ 70 යන වසර තුනේම මහ ක්‍රිකට් තරග තුනේ ඉනිම තුනේම කඩුලු පහකට වැඩි දවාගත්තා. ඒ මගේ ක්‍රීඩා කිරීමේ දක්‍ෂතාව.

මම පාසලෙන් සිංහල ක්‍රීඩා සමාජයට බැඳුණා. ඒ වන විට අනුර තෙන්නකෝන් මහත්මයා සිංහල ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරුවා. එස්.එස්.සී. කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අට දෙනෙක් ක්‍රීඩා කරා මම ඒ කණ්ඩායමට ඇතුළත් වුණා අපි ශූරතාව දිනුවා. ඊට පසු වසරේ සුනිල් වෙත්තමුණි මහතාගේ නායකත්වයෙන් ක්‍රීඩා කරලා ශූරයන් වුණා.

ඉන් පසුව මම පාඨමාලාවක් සඳහා ස්විස්ටර්ලන්තයට ගියා. නැවත ලංකාවට ඇවිත් මම 1989 දක්වා ක්‍රීඩා කළා. දෙවැනි පෙළ ක්‍රීඩා කරලා දක්‍ෂතම පිතිකරු සම්මානත් ලැබුණා. 1987 වසරේ මගේ නායකත්වයෙන් වසර 28 කට පසුව ‘ඬේලිනිව්ස්’ කුසලාන එස්.එස්.සී. එකට ගෙන දුන්නා.

මගේ පරිපාලන හැකියාව කිව්වොත් මම සිංහල ක්‍රීඩා සමාජයේ නොයෙකුත් තනතුරු දරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජය වන සිංහල ක්‍රීඩා සමාජයේ 1994 වසරේ සිට ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ කටයුතු කරනවා. සමාජිකයන් 6000 කට වැඩිය ඉන්න එස්.එස්.සී. එකේ ලේකම් හැටියට කටයුතු කරලා තියෙනවා. දැන් මම ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක්.

ඒ වගේම මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2004 - 2005 කාලයේ සභාපති. මම සභාපතිවෙලා ඉන්න කාළේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රූපවාහිනී අයිතිය වෙනුවෙන් විශාලතම මුදල ගෙනාවේ. ජයන්ත ධර්මදාස මහතාට වඩා මම ක්‍රිකට් සහ පරිපාලනය යන අංශ දෙකෙන්ම ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නවා. මුරලිදරන්ගේ දුස්රා පන්දුව සම්බන්ධ ප්‍රශ්නය අවස්ථාවේදී මට හැකි වුණා අයි.සී.සී. එකත් එක්ක කථා කරන්න.


03. මෙම පාර්ශව දෙකෙන්ම ඇතැම් තනතුරුවලට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන්ට විවිධ චෝදනා තිබෙනවා නේද?
ඕනෑම කෙනෙක්ට චෝදනා කරන්න පුඵවන්. නමුත් ඒවා සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕනේ. එහෙම නොවී කිසිම කෙනෙක් වැරදිකරුවෙක් වෙන්නෙ නෑ.
 අනෙක් පාර්ශවයේ අයටත් ඕනතරම් චෝදනා තියෙනවා. ක්‍රීඩා ඇමතිවරු පත්කළ කමිටුවලින්ම ඔවුන් වැරදිකරුවො කියලා ඔප්පු වෙලා තියෙනවා. ඔය කියන අයම තමයි වැරදිකරුවො වෙලා තියෙන්නේ. අපිව තවම ඔප්පු වෙලා නෑ.


04. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩා වැටිලා තියෙන්නේ. එහි විවාදයක් නෑ. මෙම කඩා වැටීමට නිලවරණයට ඉදිරිපත් වෙලා සිටින පාර්ශව දෙකම වගකියන්න ඕනෑ. මොකද මේ දෙපාර්ශ්වයේම සිටින ඔබලා තමයි පසුගිය කාලයේ එක එක විදිහට ක්‍රිකට් පරිපාලනයේ සිටියේ. ඒ ගැන මොකද කියන්නේ..?
යම් දුරකට අපි ඒ චෝදනාවේ වගකීම බාරගන්නවා. ක්‍රීඩාව කඩා වැටීමට හේතු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම මම දකින්නේ කුමාර් සංගක්කාර සහ මහේල ක්‍රීඩා කරන විට ඔවුන් පුදුම කැපවීමකින් ක්‍රීඩා කළා. මම දැකලා තියෙනවා සංගක්කාර පුහුණුවීම් කරලා පසුව තවත් විනාඩි 30 ක් 40 ක් නැවත ගහනවා.

ඒ වගේ කැපවීමක් මේ කණ්ඩායමේ දකින්නේ නෑ. ඒ වගේම සංගක්කාර සහ මහේලගේ වෘත්තිමය හැකියාව අනෙක් ක්‍රීඩකයෝ ආදර්ශයට ගත්තා. ඒ දෙන්නට පුළුවන් වුණා අනෙක් ක්‍රීඩකයන්ව අභිප්‍රේරණය කරන්න.
දැන් අපේ ඒ වගේ නායකයෙක් නෑ ආදර්ශයට ගන්න. ඇන්ජලෝ මැතිව්ස් පමණයි හිටියේ. නමුත් ඔහුට බොරු චෝදනා කරලා සම්පූර්ණයෙන් විනාශ කළා. අපේම හිටපු ක්‍රීඩකයෙක් ඇවිල්ලා තරග පවාදීමේ චෝදනා කිරීමෙන් ඒ නායකයා සම්පූර්ණයේම කඩා වැටුණා.

තේරීම් කමිටුවෙත් ලොකු ලොකු අඩුපාඩු ගොඩක් තිබුණා. නායකයන් මාරු කළා. ක්‍රීඩකයන් මාරු කළා. දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ කැපවීමක් නෑ. ගොඩක් ක්‍රීඩකයො එන්නේ දුෂ්කර පළාත්වලින්. එක පාරට සල්ලි ගොඩක් ලැබුණම ඔවුන්ගේ අවධානය වෙනත් පැත්තකට හැරෙනවා.


05. ඔබ බලයට පැමිණි පසු ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න තියෙන සැලැස්ම මොකක්ද ? ඒ ගැන කෙටියෙන් පැහැදිළි කරන්න.
අපිට ශ්‍රී ලංකාවේ තරගාවලියක් පවත්වන්න ඕනේ විදේශ ක්‍රීඩකයන් ගෙනල්ලා. අපි අන්තර් සමාජ සහ පළාත් ක්‍රිකට් ගහනවා. ඒවා වෙන්න ඕනේ. අපි අයි.සී.සී. එකත් එක්ක කථා කරලා පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර්වල සැළසුම් කරලා තිබුණා රසල් ආනල්ඞ් මහත්මයා සම්බන්ධ කරගෙන තරගාවලියක් පවත්වන්න. නමුත් පසුගිය මාස නවය තුළ සිදුවූ දේවල් නිසා ඒක කරන්න බැරි වුණා.

අනිවාර්යෙන්ම අපේ රටේ විදේශ ක්‍රීඩකයන්ගේ සභාගිත්වයෙන් ලීග් තරගාවලියක් පවත්වන්න ඕනේ.
තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපි පුහුණුකරුවො, ක්‍රීඩකයෝ, ක්‍රිකට් ආයතනයේ සාමාජිකයො එකතු වෙලා බලන්න ඕනේ අපිට කොහෙද වැරදිලා තියෙන්නේ කියලා. හැම රටකටම තියෙනවා මේ වගේ කාලයක්. කෙදෙව් පිල දැන් එංගලන්තය 77 ට කැඩුවේ. එංගලන්තය ඒ දවස්වල හැම රටකටම පැරදුණානේ.

අපේ දක්‍ෂතාවලින් අඩුවක් නෑ. ක්‍රිඩකයන්ට විශ්වාසය තව දුරටත් දුන්නොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.


06. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මුදල් අවභාවිතය, සේවක අතිරික්කය වැනි ගැටලු රැසක් තියෙනවා. මේවා විසඳනවා කියලා පාලනයට ආවට මේ ප්‍රශ්න එකක්වත් විසඳිලා නෑ. ඒ ගැන මොකද කියන්නේ ?
සේවකයෝ වැඩියි කියලා කියන්න බෑ. අපිට වැඩියෙන් හිටියේ දිස්ත්‍රික් පුහුණුකරුවො. අපි ඒ අයව පළාත්වලට භාර දුන්නා. අපිට තේරුණා සමර තැන්වල සේවකයෝ ටික දෙනෙක් වැඩි කියලා. ඒ නිසා අපි ඒක බාර දුන්නා කේ.පී.එම්.ජී. ආයතනයට පරිපාලන ව්‍යුහයක් හදන්න. දැනටමත් වාර්තාවක් හදලා තියෙන්නේ. ඒක ඉදිරිපත් කරන්නයි බැරි වුණේ.

මුදල් අවභාවිතය කියන එක මම පිළිගන්නේ නෑ. එක එක්කෙනා චෝදනා කරනවා. මුදල් විගණනය කරන්නේ විගණකාධිපතිතුමායි.

අපේ ටෙන්ඩර් කමිටුවත් තිබුණා. ඒක සභාපති තමයි මතිවානන් මහත්මයා. ටෙන්ඩර් එක අනුව අමාත්‍යංශයෙන් නිලධාරීන් සහභාගි වෙනවා. කිසිම වරදක් නැති ශක්තිමත් ටෙන්ඩර් පටිපාටියක් තිබුණා. ඒ ක්‍රිපාටිපාටිය අනුව තමයි කටයුතු කළේ.
ටෙන්ඩර් එකක් දෙන්න කලින් තාක්‍ෂණික කමිටුවක් හිටියා. ඒ කමිටුව කටයුතු කළා. එක ටෙන්ඩර් එකකදීවත් යෝග්‍යතා සහතිකය නොමැතිව මුදල් ගෙව්වේ නෑ.


07. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් 70 කට වැඩි පිරිසක් ඉන්නවා. ඒත් අපේ ක`්‍රිකට් කඩා වැටිලා. ජාතික කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයන් නැති නිසා කණ්ඩායම දිගින් දිගටම පරදිනවා. ඒ ගැන මොකද කියන්නේ ?
අපිට පිතිකරු පුහුණුකරුවෙක් ඉන්නවා. ඉහළ දක්‍ෂතා මධ්‍යස්ථානයක් තියෙනවා. සයිමන් විල්ස් කියලා ඉහළ දක්‍ෂතා කළමණාකරුවෙක් ගෙනාවා. අංසක ගුරුසිංහ මහත්මයා දැන් එතන වැඩ කරනවා. ඒ වගේම නවීණ තාක්‍ෂණ මධ්‍යස්ථානයක් හැදුවා.

ක්‍රීඩකයන් නැ කියලා කියන්න බෑ. නමුත් ඔවුන්ගේ හැකියාව බලාපොරොත්තු වූ ආකාරයට තවම ලබාගන්න බැරි වෙලා තියෙනවා.

අපි දිස්ත්‍රික්කවල වයස් සීමා තරගාවලි පවත්වලා. ඒ වගේම පළාත් තරගාවලිය තියලා අපි අඩිතාලම දාලා තියෙන්නේ. වයස 19 න් පහළ කණ්ඩායම අපි ශක්තිමත් කරලා තියෙන්නේ. නැඟීඑන කණ්ඩායම ජය ලබනවා.


08. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ව්‍යවස්ථාව ගැන ඔබේ අදහස මොකක්ද? ඒක හොඳයිද? වෙනස් වෙන්න ඕනෑද? වෙනස් වෙනවා නම් ඒ මොන කරුණුද ?
විශේෂයෙම් ව්‍යවස්ථාව විවේචනය කරන්නේ ඡන්ද වැඩියි කියලනේ. අපි 2004 සිට කාටවත් අලුත් සාමාජිකත්වය දුන්නේ නෑ. අපේ ව්‍යවස්ථාවේ හැටියට තරගාවලියක් ජය ලැබුවහොත් අනිවාර්යෙන්ම ඔවුන්ට සාමාජිකත්වය සහ ඊළඟ තරගාවලියට උසස්වීමක් දෙන්නත් ඕනේ.

අඩු පාඩු තියෙන්න පුළුවන්. සමහර අඩු පාඩු අපි නිරාකරණ කරලා දෙවරක්ම සංශෝධන ගෙනාවා.
සමහර ක්‍රීඩා සමාජ ක්‍රිකට් ගහන්නේ නෑ කියනවා. එහෙම ඒවා නෑ. හැම ක්‍රීඩා සමාජයක්ම ක්‍රිකට් ගහනවා. අපි මැලේ ක්‍රීඩා සමාජය කිව්වොත් තුන්වැනි කොටසේ ගහනවා. ඒ ක්‍රීඩා සමාජය වසර සියකකට වැඩි පැරණි ඒවා. වසර එකසිය ගාණක් ක්‍රිකට් ගහලා තියෙනවා. දිඹුල පළමු කණ්ඩායම. ඒ ක්‍රීඩා සමාජ ඔවුන්ගේ සාමාජිකත්ව සුදුසුකම් පවත්වාගෙන ගිහින් තියෙනවා.

මම පිළිගන්නවා සංශෝධනය විය යුතුයි. ඡන්ද අඩු කරන්වත්, ක්‍රීඩා සමාජ අඩු කරන්වත් නොවයි. එහෙම කරලා කවුරු හරි උසාවි ගියොත් අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා සියලුම දෙනා කැඳවලා සාධාරණ වෙනසකට අපි කැමතියි.

 

සාකච්ඡා කළේ : යොහාන් භාසුර

 


අදහස් (0)

විශාලතම මුදල ගෙනාවේ මමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.