Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රහාරාත්මක පිතිහරඹය කොදෙව්වන්ට ජය ගෙනෙයි

ප්‍රහාරාත්මක පිතිහරඹය කොදෙව්වන්ට ජය ගෙනෙයි

editorial - 2019 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නමවැනි පෙරහුරු තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ නවසීලන්තය අතර අද (29 වැනිදා) බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන තරගයෙන් ලකුණු 91 ක පහසු ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 422 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 47.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 330 ක් පමණි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ටොම් බ්ලන්ඩල් පන්දු 89 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 106 ක් රැස්කළ නමුත් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහුට නොහැකි විය. නායක කේන් විලියම්සන් (85) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බ්ලන්ඩර් සමත් විය. පන්දු 64 කදී වාර්තා වූ විලියම්සන්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 421 ක් ලබාගත්තේය. එහිදී කොදෙව් පිතිකරුවන් සියලු දෙනාම පාහේ නවසීලන්ත පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමින් වේගයෙන් ලකුණු රැස්කළහ. එහිදී පහර 18 ක් සහ හතරේ පහර 41 ක් එල්ල කිරීමට ඔවුහු සමත් වූහ.  

කොදෙව් කණ්ඩායම මෙම තරගයේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. එහිදී පිතිකරුවන් දෙදෙනකු හැර සෙසු පිතිකරුවන් සියලු දෙනාම සිය ලකුණු රැස්කිරීමේ වේගය 100 කට ඉහළ අගයක රඳවාගැනීමට සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශායි හෝප් පන්දු 86 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 101 ක් රැස්කළ අතර එවින් ලුවිස් (50) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෝප් සමත් විය. පන්දු 54 කදී වාර්තා වූ ලුවිස්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

නායක ජේසන් හෝල්ඩර් (47) සහ ඔන්ඩ්‍රි රසල් (54) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 82 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව කරා ගෙන යෑමට සමත් වූහ. පන්දු 25 කට මුහුණදුන් රසල්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ හෝල්ඩර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී ඔහු පන්දු යැවීම සඳහා කැඳවූ සෑම පන්දු යවන්නකුම කොදෙව් පිතිකරුවන්ගේ දැඩි ලෙස පහර කෑමට ලක්විය. ඔවුන් අතරින් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ ටේ‍රන්ට් බොල්ට් ලකුණු 50 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 49.2 සියලු දෙනා දැවී 421
(ක්‍රිස් ගේල් 36, එවින් ලුවිස් 50, ශායි හෝප් 101, ඩැරන් බ්‍රාවෝ 25, ශිම්රන් හැට්මෙයර් 27, ජේසන් හෝල්ඩර් 47, ඔන්ඩ්‍රි රසල් 54, කාලෝස් බ්‍රැත්වේට් 24, ඈෂ්ලි නර්ස් නොදැවී 21, ටේ‍රන්ට් බෝල්ට් 50/4)

නවසීලන්ත පිල - ඕවර 47.2 සියලු දෙනා දැවී 330
(හෙන්රි නිකෝල්ස් 15, කේන් විලියම්සන් 85, ටොම් බ්ලන්ඩල් 106, ජේම්ස් නීෂම් 20, කොලින් ඩි’ගෑන්ඞ්හෝම් 23, මිචෙල් සෑන්ට්නර් 19, ඉෂ් සෝධි 39, කාලෝස් බ්‍රැත්වේට් 75/3, ෆැබියන් ඇලන් 47/2)

-036


අදහස් (0)

ප්‍රහාරාත්මක පිතිහරඹය කොදෙව්වන්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.