Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය විවෘතයි

නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය විවෘතයි

රොෂාන් ගුණරත්න - 2016 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ ඉකුත් වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශූරතා දිනාගත් අශාන් සිල්වා සහ කේ. පී. අරවින්ද් මෙවර තරගාවලියට සහභාගී නොවන බැවින් මේ වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරාට සහ දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි ශූරතා සෙසු කී‍්‍රඩකයන් සඳහා විවෘතව පවතී.


නරියාකන්ද තරගාවලියේදී දෙවරක් (2013 සහ 2015) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස ශූරතා දිනා සිටින අශාන් සිල්වා මේ වසරේදී පැවැත්වෙන දේශීය තරගාවලි වලට සහභාගී නොවී විදෙස් තරගාවලි සඳහා වැඩි අවධානයක් යොමුකිරීමට තීරණ කර තිබේ.

 

ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් විදෙස් රටක පැවැත්වෙන මෝටර් රථ රැළියකට සහභාගි වීම නිසා මෙම තරගාවලියට සහභාගි නොවන බවත් නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.


මෙවර දක්ෂතම මෝටර් රථ රියැදුරා ශූරතාව සඳහා තරග වදින කී‍්‍රඩකයන් අතර අරවින්ද පේ‍්‍රමදාස, පසිඳු පීරිස් සහ උෂාන් පෙරේරා ඉදිරියෙන්ම සිටින අතර ජනක ඩයස්, ඉෂ්රාක් වහබ් සහ මිස්සක නවීන් යන කී‍්‍රඩකයන්ටද දක්ෂතම මෝටර් රථ ශූරතාව දිනාගැනීම සඳහා අවස්ථාව තිබේ.


මෙම කී‍්‍රඩකයන් අතුරින් වැඩිම වාර ගණනක් නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස ශූරතා දිනා ඇත්තේ අරවින්ද පේ‍්‍රමදාස වන අතර ඔහු අවස්ථා 10 කදී එම ශූරතාවට හිමිකම් කියා තිබේ. 2004 වසරේ සිට 2010 වසර දක්වා නොකඩවා 7 වතාවක් මෙම තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි ශූරතාව තමන් සන්තකයේ තබාගැනීමටද අරවින්ද පේ‍්‍රමදාස සමත් වී තිබේ.


නරියාකන්ද තරගාවලි ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කිමට පසිඳු පීරිස් සමත්ව සිටින අතර වරක් (2007) දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි ශූරතාව දිනාගනිමින්ද, දෙවරක් (2011 සහ 2012) දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි ශූරතාව දිනාගනිමින්ද ඔහු එම වාර්තාව පිහිටුවා තිබිණ.


මේ වසරේදී පැවැත්වෙන පළමු සුපර් ක්‍රොස් තරගාවලිය නරියාකන්ද තරගාවලිය වන බැවින්ද, දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500  දක්වා) මෝටර් රථ තරග 2 සඳහා වැඩි තරගකරුවන් පිරිසක් සහභාගී වන්නේ මෙම තරගාවලියේදී බැවින්ද නරඹන්නන්ට එහි වඩාත් උණුසුම් තරගකාරීත්වයක් දැකගත හැකිවනු ඇත.


පිට පිටම දෙවරක් (2014 සහ 2015) නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශූරතා දිනා සිටන ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් මෙවර තරගාවලියට සහභාගී නොවන බැවින් මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ශූරතාව සඳහා ගයාන් සඳරුවන්, ෂෙහාන් සී. අධිකාරි, ඉෂාන් දසනායක සහ ජැක් ගුණවර්ධන යන කී‍්‍රඩකයන් අතර සිව්කොන් සටනක් පවතිනු ඇත.


ආබාධයකට ලක්වීම නිසා කෙටි කලක් තරග බිමෙන් ඉවත්ව සිටි සමීර පේ‍්‍රමරත්න සහ මෑත කාලයේ කැපීපෙනෙන දස්කම් දැක්වූ නව යොවුන් කී‍්‍රඩක ඉවෝන් බී. ගුරුසිංහද මෙවර දක්ෂතම යතුරුපැදිකරුවා ශූරතාව සඳහා තරග වැදීම එහි තරගකාරීත්වය තවත් තීව්ර කරනු ඇත.


මෙම කී‍්‍රඩකයන් අතුරින් වැඩිම වාර සංඛ්‍යාවක් නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ශූරතාව දිනාගෙන ඇත්තේ ගයාන් සඳරුවන් වන අතර ඔහු 6 වරක් (2004, 2006 සිට 2010 දක්වා සහ 2012) එම ශූරතාවට හිමිකම් කියා තිබේ. ඉකුත් වසරේ (2015) ජාතික මොටෝක්‍රොස් ශූරයා බවට පත්වූ ෂෙහාන් සී. අධිකාරි එක් වරක් (2013) පමණක් නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශූරතා දිනාගෙන තිබේ.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය විවෘතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.