Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උරුගුවේ උපාය බාපේ පාලනය කරගැනීමයි

උරුගුවේ උපාය බාපේ පාලනය කරගැනීමයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිට ගෝල දෙකක් ලබාගනිමින් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේදී ආර්ජන්ටිනාව තරගාවලියෙන් ඉවතට වීසි කළ ප්‍රංශයේ කයිලාන් බාපේගේ තර්ජනය පාලනය කරගැනීමට හැකිවනු ඇතැයි හෙට (6) අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය සමග තරග වැදීමට නියමිත උරුගුවේ පිලේ තුරුම්පුව වන ලුවිස් සුවාරිස් විශ්වාස කරයි. 

නිෂ්නි නව්ගොරොඞ් ක්‍රීඩාංගණයේදී හෙට (6 වැනිදා) පැවැත්වෙන මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ප්‍රංශය පරදවා අවසන් පූර්ව වටයට එක්වීම සුවාරිස්ලාගේ එකම ප්‍රාර්ථනය වී තිබේ. උරුගුවේ පිල මෙතෙක් ක්‍රීඩා කළ තරග හතරේදීම ප්‍රතිවාදීන්ට ලබාගැනීමට අවසර දුන්නේ පිළිමළුන් පිටුදැකීමේ වටයේදී පෘතුගාලයේ පෙපේ වාර්තා කළ ගෝලය පමණි. තම කණ්ඩායම සතුව ශක්තිමත් ආරක්ෂක පෙළක් ඇති බැවින් උද්වේගකාරී බවක් පෙන්වන යොවුන් ක්‍රීඩක බාපේගේ නිර්භීත තරග විලාශය වේලාසනින්ම පාලනය කිරීම උරුගුවේ පිලේ බලාපොරොත්තුවයි. 

නිෂ්නිහි නොව්ගොරෝඞ් ක්‍රීඩාංගණයට යාබද බෝර් පුහුණු කඳවුරේ දී වාර්තාකරුවන්ට කතා කළ සුවාරිස් වැඩිපුර සඳහන් කළේ බාපේ ගැනය. 

“ඔහු ඇත්තෙන්ම හොඳ ක්‍රීඩකයෙක්. ඒත් මං හිතනවා ඔහුව පාලනය කරගන්න තරම් ශක්තිමත් ආරක්ෂක පෙළක් අප සතු බව” මේ දක්වා ගෝල 3කට හිමිකම් කියමින් ප්‍රංශය වෙනුවෙන් මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයා වන බපේ ගැන සුවාරිස් එසේ කීවේය.

බාපේ පමණක් නොව ශක්තිමත් වම් පාදයක් හිමි ඇන්ටෝනි ග්‍රිස්මාන් ද හෙට තරගයේදී විශාල තර්ජනයක් වනු ඇතැයි සුවාරිස්ගේ අදහසයි. ග්‍රිස්මාන් උරුගුවේ සම්භවයක් ඇති ක්‍රීඩකයෙක් බව ඔහු කියන්නේ තරමක් ආඩම්බරයෙන්ද නැතහොත් කණගාටුවෙන්ද යන්නත් කුකුසකි. 
“ඔහු අර්ධ උරුගුවේ ජාතිකයෙක්.  මොකද ඔහු ඩියාගෝ ගෝර්ඞ්න් හා ජොස් ගිම්නෙස් සමග ඇට්ලෙන්ටෝ මැඞ්රිඞ් පිලට එකටයි ක්‍රීඩා කළේ. යාළුවොත් එක්ක එකට ‘මේට්’ තේ එක බිව්වා” (මේට් තේ යනු දකුණු අමෙරිකානු රටවලටම ආවේනික කැෆේන් අඩංගු තිත්ත තේ විශේෂයකි) 

ප්‍රංශය මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුණාම සිය සගයන්ට සුබපතන්න ඔහු ගුවන් තොටුපළට ගියෙත් උරුගුවේ පිලේ ටී ෂර්ටයක් ඇඳගෙනයි. ‘සුවාරිස් අපුරු රහසක් හෙළිදරව් කළේය.

“ඔහු අර්ධ උරුගුවේ ජාතිකයෙක් වුණාට උරුගුවේ හැඟීම් මොනවද කියලා දන්නෙ නෑ. අපේ කණ්ඩායමේ සගයන්ට තරගයක් සාර්ථකව නිමා කිරිමට ඇති පුදුමාකාර පිපාසය ගැන ඔහු දන්නෙ නෑ.” යයි සුවාරිස් කීවේය.

කෙසේ වුවත් අවසන් 16 දෙනාගේ වටයේදී පෘතුගාලය ගෙදර යවමින් ගෝල 2-1 ක ජයක් ලැබූ උරුගුවේ පිලට ගෝල දෙකම ලබා දුන් සුවාරිස්ගේ ප්‍රහාරාත්මක සගයා වන එඩින්සන් කවානි ඒ තරගය අතරතුර කලවා ප්‍රදේශයේ මස්පිඬු පෙරලීමේ ආබාධයකට ගොදුරු වූ අතර අනිද්දා තරගයට ක්‍රීඩා කිරීම තවමත් තහවුරු වී නැත.

සුවාරිස් කුමක් කීවත් අනිද්දා තරගයෙන් පසුව අවසන් කණ්ඩායම් හතරට යන්නේ ප්‍රංශය බව ග්‍රිස්මාන් පවසයි.

අවුරුදු 13ක්ම ස්පාඤ්ඤයේ ජීවත්වෙමින් දකුණු අමෙරිකාව සමග ඉතා කුළුපග සම්බන්ධතාවක් ඇතිකරගත් ග්‍රිස්මාන් කියන්නේ මිත්‍රකම වෙනයි, තරගය වෙනයි කතාවකි. 

“උරුගුවේ කියන්නේ මගේ දෙවැනි රටයි. ඒ වගේම ගෝර්ඞ්න් මගේ හොඳම යාළුවෙක්. ඔහු මට ‘මේට්‘ තේ එක බොන හැටිත් ඉගැන්නුවා. අපි දෙන්නා දෙපැත්තට බෙදිලා මේ තරගයේදී ක්‍රීඩා කිරීමත් හැඟුම්බර දෙයක්.‘ ඔහු කීවේය.

ග්‍රිස්මාන් ඇට්ලෙන්ටෝ මැඞ්රිඞ් පිලට ක්‍රීඩා කළ කාලයේ ඔහුගේ දියණිය බෞතිස්ම ලබද්දී කැපකාර පියා බවට පත්වූයේ ද ගෝර්ඞ්න්ය. එහෙත් මේ සියලු හැඟීම් පසෙකලා අනිද්දා තරගයට ක්‍රීඩා කිරීමට ග්‍රිස්මාන් දැන් සූදානම්ය.

- 077


අදහස් (0)

උරුගුවේ උපාය බාපේ පාලනය කරගැනීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.