Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

යොහාන් භාසුර - 2019 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (31) සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා පිල ලකුණු 122 කින් බංග්ලාදේශය පරාජය කළේය.

මෙය ශ්‍රී ලංකාව වසර තුනයි මාස නවයකට ආසන්න කාලයකට පසුව 3-0 කින් ලැබූ එක්දින තරගාවලි ජයග්‍රහණය වේ. ශ්‍රී ලංකාව 2015 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අවසන් 3-0 ක ජය ලබා සිටියේය.

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඇගයීම වෙනුවෙන් මෙම තරගය නම් කර තිබූ අතර තරගය අවසානයේ කුලසේකරට සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

ලකුණු 295 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 36 කදී ලකුණු 172 කට සීමාවිය.

දසුන් ශානක පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 27 කට කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.

 සෞම්‍ය සාකර් පන්දු 86 කින් ලකුණු 69 ක් රැස්කරමින් බංග්ලාදේශ පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ධනංජය ද සිල්වා අතිරේක ක්‍රීඩකයකු ලෙස පන්දු රකිමින් රැකගත් විශිෂ්ට උඩ පන්දුව සමගින් ශබීර් රහමන් හයවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ බංග්ලාදේශ පිල අගාදයට ඇඳ වැටුණි.

දසුන් ශානක ක්‍රියාත්මක වෙමින් බංග්ලාදේශ පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මුෂ්ෆිකුර් රහීම් (10) තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්කිරීමත් සමඟ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකා පිලට නතු විය.

බංග්ලාදේශ පිලේ නායක තමීම් ඉක්බාල් (02) තෙවැනි තරගයේදීත් අසාර්ථක වෙමින් කසුන් රාජිත හමුවේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ ඇන්ජලෝ මැතිව්ස් පවුරක් වැනි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 90 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 87 ක් රැස් කළේය. මෙය මැතිව්ස්ගේ 40 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

මාස අටකට පමණ පසුව එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගි වූ දසුන් ශානක පන්දු 14 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් ඇතුළත් කරමින් ලකුණු 30 ක් රැස්කිරීම කැපී පෙනුණි.

දසුන්ගේ වේගවත් පිතිහරඹය නිසා පස්වැනි කඩුල්ලට පන්දු 28 කින් ලකුණු 52 ක් එකතු විය.
 ශෆියුල් ස්ලාම් යැවූ ඉනිමේ 45 වැනි ඕවරයට දසුන් ශානක රැස්කළ ලකුණු 19 ත් සමගින් ලකුණු 20 ක් (6,4,2,1,1,6) එකතු වීමත් සමඟ ලකුණු 294 ක් දක්වා ඒමට මඟ පෑදුණි.

මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිමේ අවසන් ඕවර 10 ට ලකුණු 106 ක් රැකිරීමට සමත් වූහ.  
කුසල් මෙන්ඩිස් නැවතත් වගකීමෙන් යුතු ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 54 ක් රැස් කළ අතර මෙන්ඩිස්ගේ පන්දු 58 කට ඉනිම හතරේ පහර පහකින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් සිවුවැනි කඩුල්ලට පන්දු 121 කින් ලකුණු 101 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32 ක් ලබා සිටියදී ශෆියුල් ස්ලාම්ගේ පන්දුවකට කඩුලු රකින මුෂ්ෆිකුර් රහීම් අතර ලබාදුන් පහසු උඩ පන්දුව ගිලිහී යෑම බංග්ලාදේශයට දැඩි පාඩුවක් බවට පත්විය. එම උඩ පන්දුව රැකගත්තේ නම් ලකුණු 166 කට කඩුලු හතරක් බවට පත්වේ.

මැතිව්ස් ලකුණු 63 ක් ලබා සිටියදී මෙහෙදි හසන්ගේ පන්දුවකට ලබාදුන් පහසු උඩ පන්දුවක් ශබීර් රහමන් වෙතින් ගිලිහී ගියේය.  

කුසල් පෙරේරා ලකුණු 42 ක් ලබා සිටියදී දැවී යෑමත් සමඟ ලකුණු 98 කට කඩුලු තුනක් බවට පත්විය.
නායක දිමුත් කරුණාරත්න පන්දු 60 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 46 ක් රැස් කළේය.

දිමුත් සහ කුසල් පෙරේරා දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 83 ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පිල හිස එසවීය.

අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු හයක් පමණක් ලබා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය මන්දගාමී විය.

ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් හතරක් සමගින් ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග සහ කසුන් රාජිත කැඳවා තිබූ අතර ළහිරු තිරිමාන්න, ඉසුරු උදාන, ධනංජය ද සිල්වා සහ නුවන් ප්‍රදීප් විවේක ගැන්වූහ.
බංග්ලාදේශ පිලට එනමුල් හල් සහ රුබෙල් හුසේන් ඇතුළත්ව සිටි අතර මොසඩික් හොසේන් සහ මුස්තෆිෂූර් රහමන්ට ස්ථාන අහිමිවූහ.

ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.