Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහින්දානන්ද සියලු තොරතුරු පොලිසියට දෙන්න යයි

මහින්දානන්ද සියලු තොරතුරු පොලිසියට දෙන්න යයි

නාමල් පතිරගේ - 2020 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව අනුශූරතාව හිමි කර ගත් වසර 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී පාවාදීමක් සිදුව ඇතැයි හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීම සඳහා ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානී පොලිස් අධිකාරි ටී.ජේ. සමරනායක මහතා පත්කර තිබේ.

එම විමර්ශන පවත්වාගෙන යාමේදී ඔහුට සහය පිණිස එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විතානගේ මහතාද එම කටයුතු සඳහා අනුයුක්ත කර තිබේ. ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානි  ජෙෂ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ හිටපු ක්‍රීඩා  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය සටහන් කර ගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිය ඒකකයට පැමිණෙන ලෙස හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට කළ දැනුම්දීමට ඔහු ප්‍රතිචාර දැක්වු බවත් අද හෙටම ඔහු ඒ සඳහා සිය ඒකකයට පැමිණෙන බව දැනුම්දුන් බවත් ෆොන්සේකා මහතා පැවැසීය.

‘‘හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රකාශය පදනම් කර ගෙනයි අපි ඉදිරියට මෙම විමර්ශන පවත්වා ගෙන යාම සැලසුම් කරන්නෙ. ඒ නිසා විමර්ශන ආරම්භ කරන්න අපට ඔහුගේ ප්‍රකාශය ඉතා වැදගත් වෙනවා. යැයිද ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවැසීය.
ඒ සම්බන්ධයෙන් ලංකාදීපය ඊයේ (23) මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ සිය ප්‍රකාශයට පදනම් වූ සියලු තොරතුරු ක්‍රීඩා විමර්ශන පොලිස් ඒකකයට ලබා දෙන බවයි.

‘‘මේ ගැන මට වැඩි දෙයක් දැන්ම කියන්න බෑ. මෙම තරග පාවාදීමට අදාළ වන සියලු තොරතුරු මා ළඟ තිබෙනවා. ඒවා අද (24) දිනයේදී මා පැමිණිල්ලක් සමග පොලිසියට බාර දෙනවා’’ යැයිද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය පැවැත්වෙන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාය. කෙසේ වුවත් ඔහුගේ මෙම තරග පාවාදීමේ ප්‍රකාශය දෙස් විදෙස් මාධ්‍යයන්හි ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්වී තිබේ.

පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ විමර්ශන බලතල සහිත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පසුගිය පෙවරවාරි 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී ස්ථාපිත කෙරුණි. පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව අසත්‍ය චෝදනා හා පැමිණිලි ඉදිරිපත් කරන්නන්ට එරෙහිව ද පියවර ගැනීමේ විධිවිධාන එහි දක්වා තිබේ.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තියේ මෙය මෙසේ අර්ථ දක්වා තිබේ. ‘‘මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුළත් යම් චෝදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබියදී ඒ තොරතුරු මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදුකරන අතර මහේස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබීමේදී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතුය.

මේ අතර විමර්ශන ඒකකයේ ප්‍රධානී ජගත් ෆොන්සේකා මහතා පැවැසුවේ සිය ඒකකය ස්ථාපිත කිරීමෙන් පසුව ලැබුණූ පැමිණිලි ගණනාවක්ම අසත්‍ය එමෙන්ම පදනමක් නොමැතිවීමෙන් ඒවා බාර නොගෙනම ප්‍රතික්ෂේප කළ බවයි.

 


අදහස් (0)

මහින්දානන්ද සියලු තොරතුරු පොලිසියට දෙන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.