Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චමීර - බිමන්දි ශූරතා දිනති

චමීර - බිමන්දි ශූරතා දිනති

ශානුක අරවින්ද - 2019 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති 72 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේද, කාන්තා ශූරතාව දිනාගැනීමට මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාරද සමත් වූහ. ඔවුන් දෙදෙනා මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබූහ. 

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 4-3 ක් ලෙස ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන පරාජය කරමින් චමීර ගිණිගේ සිය පළමු ජාතික මේසපන්දු ශූරතාවට හිමිකම් කීවේය. එහිදී චමීර හමුවේ පරාජයට පත්වූ රොහාන් සිරිසේනද කිහිපවරක්ම ජාතික මේසපන්දු ශූරතාව ජයගෙන සිටින ප්‍රවීණ ක්‍රීඩකයකි. 

අවසන් පූර්ව වටයේ තරගවලදී වට 4-0 ක් ලෙස හිරුණ වරුසවිතාන පරාජය කරමින් චමීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර රොහාන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 4-1 ක් ලෙස ලාබාල ක්‍රීඩක සෙනුර සිල්වා පරාජය කරමිනි. 

පිරිමි කේවල අවසන් මහ තරගයේදී සිය ප්‍රතිවාදියා වූ රොහාන් සිරිසේන සමග එක්වූ චමීර, පිරිමි යුගල අවසන් මහ තරගයේදී මොරටුව විශ්ව විද්‍යාලයේ සුපුන වරුසවිතාන සහ කොළඹ ආනන්ද විදුහලේ හිරුණ වරුසවිතාන වට 3-0 ක් ලෙස පරාජය කිරීමටද සමත් විය. 

බිමන්දි බණ්ඩාර ජාතික මේසපන්දු ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 4-0 ක් ලෙස ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ මුතුමාලි ප්‍රියදර්ශනී පරාජය කරමින් ඇය එම ශූරතාවට හිමිකම් කීවාය. 

අවසන් පූර්ව වටයේ තරගවලදී වට 4-2 ක් ලෙස ඉකුත් වසරේ ජාතික ශූරිය වූ එරන්දි වරුසවිතාන පරාජය කරමින් බිමන්දි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර මුතුමාලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 4-1 ක් ලෙස නුවනි නවෝද්‍යා පරාජය කරමිනි. 

කාන්තා කේවල අවසන් මහ තරගය ජයගැනීමට සමත් වුවද, කාන්තා යුගල අවසන් මහ තරගයේදී කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප්‍රනාන්දු සමග එක්ව තරග වැදුණ බිමන්දි, වට 3-2 ක් ලෙස කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය සහ කොළඹ මහාමායා විදුහලේ තනුෂි රොද්‍රිගූ හමුවේ එහිදී පරාජයට පත් වූවාය. 

මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජයේ ක්‍රිෂාන් වික්‍රමරත්න සමග එක්ව මිශ්‍ර යුගල ඉසව්ව සඳහා තරග වැදුණ බිමන්දි එහි අවසන් මහ තරගයේදී රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි හමුවේ පරාජයට පත්වූයේ වට 3-1 ක් ලෙසනි.  

ශ්‍රී ලංකා මේසපන්දු අතුරු කමිටුව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 270 ක් පමණ සහභාගී වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ නදීකා දමයන්ති මහත්මිය සහභාගි වූවාය. 

තරග ප්‍රතිඵල 
විවෘත පිරිමි කේවල 
චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් තරග වට 4-3 ක් ලෙස රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (09/11, 11/08, 05/11, 08/11, 11/09, 11/05, 11/09) 

විවෘත පිරිමි යුගල 
චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 3-0 ක් ලෙස සුපුන වරුසවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය) සහ හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/05, 11/06) 

විවෘත කාන්තා කේවල 
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 4-0 ක් ලෙස මුතුමාලි ප්‍රියදර්ශනී (ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/02, 11/04, 12/10, 11/05) 

විවෘත කාන්තා යුගල 
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) සහ තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) සහ චමත්සර ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/07, 05/11, 11/07, 11/06) 

විවෘත මිශ්‍ර යුගල 
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) සහ ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) විසින් තරග වට 3-1 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/07, 07/11, 12/10, 11/02) 

 


අදහස් (0)

චමීර - බිමන්දි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.