Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩාවේ වැරදි කළොත් කෝටි 10 ක දඩයක්

ක්‍රීඩාවේ වැරදි කළොත් කෝටි 10 ක දඩයක්

යොහාන් භාසුර - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පසුගිය 11 වැනිදා සම්මත වූ ‘ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ’ පනතට අනුව ක්‍රීඩාවේ ප්‍රධාන වැරදි පහකට (05) වරදකරු වුවහොත් රුපියල් මිලියන 100 ක (රුපියල් කෝටි 10) දඩයක් හෝ වසර 10 ක සිරදඩුවමක් හෝ එම දඩුවම් දෙකම පැනවීමේ බලය අධිකරණයට හිමිවේ.

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නියමය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනතේ අරමුණ ‘ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහා ද, වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි’ ලෙස සඳහන්ව තිබේ.

“4 වන, 5 වන, 6 වන, 7 වන හෝ 8 වන වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති වරදක් සිදු කරන යම් තැනැත්තකු වරදකරු කරනු ලැබීමේ දී, රුපියල් මිලියන සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ යටත් විය යුතුය” ලෙස නව පනතේ 9 වැනි පරිච්ජේදයේ සඳහන් වේ.

මෙම පනතේ පළමු පරිච්ජේදය “ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන වැරදි” ලෙස වේ.

එහි 4. (1)(අ) යම් තැනැත්තකු විසින් හෝ යම් ක්‍රීඩාවකට සම්බන්ධ තැනැත්තකු විසින් - (I) තමාට හෝ වෙනත් තැනැත්තකුට මූල්‍යමය හෝ වෙනත් යම් වාසියක් සිදු වන හෝ වෙනත් තැනැත්තකුට මූල්‍යමය අවාසියක් හෝ පාඩුවක් සිදුවන යම් ඔට්ටු ඇල්ලීමක, සූදු ක්‍රීඩාවක හෝ වෙනත් යම් ක්‍රියාකාරකමක නිතර වීමේ හේතුවෙන් යම් ක්‍රීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් දූෂිත වන බව දනිමින් ඒ ඔට්ටු ඇල්ලීමෙහි, සූදු ක්‍රීඩාවෙහි හෝ ඒ ක්‍රියාකාරකමෙහි නිරත වන්නා වූ. ලෙස සඳහන් වේ.

“යම් ක්‍රීීඩාවක් හෝ ක්‍රීඩා ඉසව්වක් හා සම්බන්ධ නිලධරයකු, තේරීම්කරුවකු, ක්‍රීඩා කළමනාකරුවකු, කමිටු සාමාජිකයකු, ක්‍රීඩා පුහුණුකරුවකු පුහුණු කරන්නකු, සම්භාහකයකු, භෞතචිකිත්සකයකු, වෛද්‍ය නිලධරයකු, පරිපූරක වෛද්‍යසේවකයකු, විනිසුරුවකු, තරග විනිශ්චයකරුවකු, තරග තීරකවරයකු, ක්‍රීඩාංගණ භාරකරුවකු, සහාය කාර්ය මණ්ඩල සාමාජිකයකු, ක්‍රීඩාංගණ කාර්ය මන්ඩල සාමාජිකයකු හෝ ක්‍රීඩාපිටි කාර්ය මණ්ඩල සාමාජිකයකු, ක්‍රීඩා හවුල්කරුවකු සහ අනුග්‍රාහකයකු වන යම් තැනැත්තකු” මෙම පනතේ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් ලෙස සළකයි.

ඇතැම් වැරදිවලට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව යටතේ නඩු පැවරීමට මෙම පනතෙන් අවසර ලැබී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමන් පරිදි සහකාර පොලිස් අධිකාරීවරයකුගේ නිලයට අඩු නොවන නිලයන් දරණ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීම සහ ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයන් ඇගයීමට සහ ඉදිරිගැන්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා යටතේ පාලනය වන අරමුදලක් පිහිටුවීම ද මෙහිදී යෝජනා කෙරී තිබේ.

 


අදහස් (0)

ක්‍රීඩාවේ වැරදි කළොත් කෝටි 10 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.