Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අසරුවන් 9 ක් අතර තියුණු තරගයක්

අසරුවන් 9 ක් අතර තියුණු තරගයක්

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------
ශානුක අරවින්ද
-------------------

 
කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන මැජික් මිලියන් කුසලාන තුරඟ තරගාවලිය හෙට (සෙනසුරාදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ප්‍රධාන තරග 5 කින් සමන්විත වේ.

තරගාවලියේ ප්‍රධානතම තරගය වන මැජික් මිලියන් කුසලාන තුරඟ තරගයේදී ප්‍රේක්ෂකයන්ට වෙස්ටන් වින්ඩ්, අල්කසබා, ස්පිරිටඩ් ටච්, සන්තෝෂ්, පරුෂ්රාම්, නයිට් ඔෆ් කී, මෙහෙරාන්, චාල්ටන් සහ ඇරිකා වොන්ඩර් යන අසුන් අතර ඉතා උද්වේගකර ධාවනයක් දැක බලාගත හැකිය. මේ තත්ත්වය අනුව මෙම අසුන් මෙහෙයවන අසරුවන් අතර ඇතිවිය හැක්කේ තියුණු තරගයකි.

එම අසුන් අතරින් කැපී පෙනෙන දස්කම් දක්වමින් අවසන් වරට පැවැති ආණ්ඩුකාර කුසලාන තරගය ජයගැනීමට වෙස්ටන් වින්ඩ් සමත් වූයේ මින් පෙර එම කුසලානට හිමිකම් කියූ අල්කසබා සහ ස්පිරිටඩ් ටච් පිළිවෙන් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්කරමිනි.

ආණ්ඩුකාර කුසලාන තරගය මෙන්ම මැජික් මිලියන් කුසලාන තරගයද පළමු සහ දෙවැනි කාණ්ඩයේ අසුන් සඳහා පමණක් වෙන්වූ මීටර් 1800 ක දුරකින් සමන්විත තරගයක් ලෙස පැවැත්වේ. ආණ්ඩුකාර කුසලාන තරගයේදී ලබාගත් ජය තවදුරටත් තමන් සන්තකයේ රඳවාගැනීමට වෙස්ටන් වින්ඩ් එහිදී උත්සාහ දරනු ඇත.

මේ අතර ආණ්ඩුකාර කුසලාන තරගයේදී තමන් අතින් ගිළිහුණ ජයග්‍රහණය මැජික් මිලියන් තරගයේදී නැවත තමන් වෙත නතුකර ගැනීම සඳහා අල්කසබා මෙන්ම ස්පිරිටඩ් ටච්ද වෙහෙස කරවීමට ඔවුන්ගේ අසරුවන් උත්සාහ කරනු ඇත. එහිදී සෙසු අසුන්ගෙන් ඔවුන්ට එල්ල වන අභියෝගයද සුළුකොට තැකිය නොහැක.

දෙවැනි කාණ්ඩය, තෙවැනි කාණ්ඩය, සිවුවැනි කාණ්ඩය සහ පස්වැනි කාණ්ඩය සඳහා තවත් තරග 4 ක් පැවැත්වෙන අතර එම තරගවලදී තවත් අසුන් 35 ක් පමණ තරග වැදීමට නියමිතය.

මෙම තරගාවලිය මෙන්ම මින් පෙර මාර්තු මස 20 වැනිදා පැවැති වසන්ත සහ ග්‍රීස්ම සමය තරගාවලියද, මෙම මස 15 වැනිදා පැවැති ආණ්ඩුකාර කුසලාන තරගාවලියද රාජකීය තුරඟ තරග සමාජය විසින් සංවිධානය කරනු ලැබුවේ සෞඛ්‍ය අංශවල අනුමැතිය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමිනි.

මැජික් මිලියන් කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ වසරේ අගෝස්තු, සැප්තැම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී තවත් තුරඟ තරගාවලි රැසක් සංවිධානය කිරීමටද රාජකීය තුරඟ තරග සමාජය කටයුතු සූදානම් කරමින් සිටියි.

 


අදහස් (0)

අසරුවන් 9 ක් අතර තියුණු තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.