Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔසාකා ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගනී

ඔසාකා ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගනී

editorial - 2021 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකානු ක්‍රීඩිකා ජෙනිෆර් බ්‍රැඩී එක පිට එක කාණ්ඩ දෙකකින් පරාජය කළ ජපානයේ නයෝමි ඔසාකා කිසිදු අපහසුවකින් තොරවම මෙවරත් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත්තාය. මෙම ජයග්‍රහණය ඔසාකාගේ 4 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයයි.

විනාඩි 77 ක් පුරා පැවැති තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6-4 ක් සහ 6-3 ක් ලෙසිනි. මෙල්බර්න් නුවර රොඩ් ලීවර් ටෙනිස් පිටියේදී මෙම තරගය අද (සෙනසුරාදා) පැවැත්විණ.

තරගාවලියේ ක්‍රීඩිකාවන් ස්ථානගත කිරීම අනුව ඔසාකා සිටියේ තුන්වැනි ස්ථානයේදීය.

එහෙත් 2013 දී වෘත්තීය ටෙනිස් පිටියට අවතීර්ණ වූ ඔසාකා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා නම් ඒ සියල්ලම ජයගනිමින් ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග වලදී 100% ක සාර්ථකත්වයක් රඳවා ගැනීමට සමත්ව සිටින්නීය.

ඇය 2018 සහ 2020 වසර වලදී එක්සත් ජනපද විවෘත ශූරතාවලියත්, 2019 දී සහ 2021 දී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියත් ජයගෙන සිටින්නීය.

කුසලන ප්‍රදානෝත්සවයේදී ඔසාකා සහ බ්‍රැඩී සුහද කතාබහක නිරත වූහ.

“අපි දෙන්නා මීට මාස කිහිපයකට ඉහතදී ඇමරිකානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී සෙල්ලම් කළානේ... ඒ හින්දා මම හැමදෙනාටම කිව්වා මේ පාර නම් ඔයාව තරමක ප්‍රශ්නයක් වෙනවා කියලා..”

“මම කිවවා හරි... පසුගිය මාස දෙක තුනේදී ඔයා දියුණු වෙලා තියෙන තරම මට අදහාගන්නත් බැරි තරමයි. මම ඒ ගැන හරිම සතුටුයි” යයිද ඔසාකා සිය ප්‍රතිවාදිනියට කීවාය.

මේ වන විට 23 හැවිරිදි ඔසාකා, 24 වැනි වියට පා තැබීමට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් දිනාගත් තුන්වැනි ක්‍රීඩිකාව බවට පත්වූවාය. ඇයට පෙර එවන් දස්කමක් කර ඇත්තේ මොනිකා සෙලස් සහ රොජර් ෆෙඩරර් දෙදෙනා පමණි. මෙවර ඕස්ට්‍රේලියානු ශූරතාව දිනාගැනීමෙන් පසුව ඔසාකාගේ ලෝක ශ්‍රේණිගත කිරීම 2 වැනි ස්ථානය දක්වා ඉහළ නගිනු ඇත.

එපමණක් නොව, මෙම ජයග්‍රහණය මතින් තහවුරු වන්නේ සෙරීනාගේ යුගය අවසන් බවත්, ඔසාකාගේ යුගය ආරම්භ වී ඇති බවත්ය. 2018 දී සෙරීනා පරාජය කරමින් සිය පළමු වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගත් දා පටන් ප්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලි වලින් අඩක්ම දිනා ගනු ලැබ ඇත්තේ ඔසාකා විසිනි.

ඇය ටෙනිස් ක්‍රීඩාවෙන් මේ දක්වා උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 19.9 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 390 කට ආසන්නය.

අවසන් මහ තරගය පරාජය වූ නමුත් ජෙනිෆර් බ්‍රැඩීගේ ලෝක ශ්‍රේණිගත කිරීම 22 වැනි ස්ථානයේ සිට 13 වැනි ස්ථානය දක්වා ඉහළට යනු ඇත.


 

- 213

 


අදහස් (0)

ඔසාකා ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.