Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ 24-17 කින් ශාන්ත ජෝශප් පරාජය කරති

කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ 24-17 කින් ශාන්ත ජෝශප් පරාජය කරති

යොහාන් භාසුර - 2020 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු සතියේ දෙවැනි තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී අද (05) පැවැති තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 24-17 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රාහි කිංග්ස්වුඩ් විදුහල පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 24 රැස්කළේය. ශාන්ත ජෝශප් විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබීය.
 
කිංග්ස්වුඩ් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-10 ක් ලෙස ලකුණු හතරකින් පෙරමුණේ පසුවිය.

මෙහිදී කිංග්ස්වුඩ් විදුහල පිල ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගේ ජවය සහ පසු පෙළ ක්‍රීඩකයන්ගේ වේගය ඉතාමත් හොඳින් මුසුකරමින් ක්‍රීඩා කිරීම ජයග්‍රාහණයට ප්‍රධාන සාධකය බවට පත්විය.  

අපූර්ව විජේසිංහ 12 වැනි මිනිත්තුවේදී කිංග්ස්වුඩ් විදුහලට පළමු උත්සාහක දිනුම එකතු කළ අතර ඉෂාර කුරේ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 7-0 ක් ලෙස ක්‍රියාත්මක විය.

ශාන්ත ජෝශප් විදුහලේ නවීන් මාරසිංහ ඉන් මිනිත්තු හතරකට පසුව කිංග්ස්වුඩ් විදුහල් ගෝල සීමාව ආක්‍රමණය කරමින් පන්දුව බිම පතිත කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 7-5 ක් බවට පරිවර්ථනය විය.

නායක රෂේන් ගුණවර්ධන, කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් කීපදෙනෙකු මඟ හරිමින් මීටර 40 ක් පමණ දිවයමින් 27 වැනි මිනිත්තුවේදී ශාන්ත ජෝශප් විදුහලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. එහි ගෝල ප්‍රවර්ථනය රෂේන් වෙතින් අසාර්ථක වූවද ශාන්ත ජෝශප් විදුහල පළමු වරට ලකුණු 10-7 ක් ලෙස පෙරමුණ ගත්තේය.


චේතිය බණ්ඩාර 34 වැනි මිනිත්තුවේදී විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඉෂාර කුරේ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ කිංගස්වුඞ් විදුහල ලකුණු 14-10 ක් ලෙස නැවතත් වාසිය ලබාගත්තේය.

ඉෂාර සඳරුවන් දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු තුනක් ගතවීමට පෙර ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් මීටර 50 ක් පමණ දිවයමින් වම් පස කොඩි කණුව ආසන්නයට වන්නට පන්දුව ගෝල සීමාවේ පතිත කළේය. එහි ප්‍රවර්ථනය ඉෂාර කුරේ වෙතින් අසාර්ථක වීමෙන් ලකුණු පුවරුව 19-10 ක් බවට පත්විය.

ඉරංග සඳරුවන් 64 වැනි මිනිත්තුවේදී තාක්‍ෂණයෙන් පිරිපුන් රග්බි තරගයක් ප්‍රදර්ශනය කරමින් කිංගස්වුඞ් විදුහලට එකතු කළ උත්සාහක දිනුම කැපී පෙනුණි. ශාන්ත ජෝශප් පිල සතුව තිබූ පන්දුව ලබාගත් කිංග්ස්වුඩ් විදුහල් පිල ප්‍රදර්ශනීය පන්දු මාරු කිරීමක් අවසානයේ ආසිරි, ඩිනාල් සහ විදුරගෙන් ඉරංගට ලැබුණු පන්දුව උත්සාහක දිනුමක් බවට පත්විය.

කිංග්ස්වුඩ් විදුහල එම උත්සාහක දිනුමත් සමඟ ලකුණු තත්ත්වය 24-10 ක් බවට පත්කරමින් ගෝල දෙකක ලකුණු පරතරයක් තබා ගත්තේය.

තරගය අවසන් වීමට ඔන්න මෙන්නව තිබියදී ශාන්ත ජෝශප් විදුහලේ රුචිත් පෙරේරා සම්පූර්ණ කළ උත්සාහක දිනුම රෂේන් ගුණවර්ධන ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් අවසන් ලකුණු තත්ත්වය 24-17 ක් විය.  


අදහස් (0)

කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ 24-17 කින් ශාන්ත ජෝශප් පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.