Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ නිලවරණයට පොලිස් ආරක්ෂාව

එල්ලේ නිලවරණයට පොලිස් ආරක්ෂාව

නාමල් පතිරගේ - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිලවරණය කල්දමන ලෙස විධායක සභාව කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය (2020-22) යොද‌ාගත් පරිදි ලබන සෙනසුරාද‌ා (29) පවත්වන ලෙස නිලවරණ කමිටුවට උපදෙස් දී තිබේ. එහිදී ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගේ ඉල්ලීමක් සලකා බලමින් නිලවරණය පැවැත්වෙන අවස්ථාවේ දී ශ්‍රවණාගාරයට පොලිස් ආරක්ෂාව ලබා දීමට ද තීරණය වී තිබේ.

එල්ලේ සම්මේලනයේ නිලවරණය (2020-22) ලබන සෙනසුරාද‌ා (29) පෙරවරු 10 ට කඩවත නුවර පාරේ ‘සුමිත්‍රා’ උත්සව ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

නිලවරණය කැඳවීමේ දී ගණපූර්ණය නොමැති වීමේ තත්ත්වයක් උද්ගතවිය හැකි නිසාත් විධායක සභාවේ ධුර 23 ක් සඳහා නාමයෝජනා අටක් පමණක් ඉදිරිපත්ව ඇති නිසාත් එය කල් දැමීමට උපදෙස් ඉල්ලා එල්ලේ සම්මේලනයේ වත්මන් ලේකම් සිරිල් පෙරේරා මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර තිබුණි.

 ඒ අතර සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාද‌ා (22) රැස්වූ එල්ලේ සම්මේලනයේ විධායක සභාව තීරණය කර ඇත්තේ ඇතිවී තිබෙන තත්ත්වය මත නිලවරණය කල් දැමිය යුතු බවයි.

 කෙසේ වුවත් මෙවර නිලවරණයේදීත් නාමයෝජනා බාර දී තිබෙන එල්ලේ සම්මේලනයේ වත්මන් සංවිධායක චාමර සේරසිංහ, ලේකම් ධුරයට තරග වදින ප්‍රියන්ත මද්දුමගේ යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජිතයන් පිරිසක් ඊයේ (24) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය හා ජාතික ක්‍රීඩා සංගම් විෂය භාරව කටයුතු කරන සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ යන මහත්වරු මුණගැසී නිලවරණයට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබෙන ක්‍රීඩා සමාජ 62ක නියෝජිතයන්ගේ අත්සන් ලේඛනයක් ඉදිරිපත් කර සිටි බව වාර්තා වේ.

 ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානීන් එල්ලේ සම්මේලනයේ වත්මන් ලේකම්වරයා අමතමින් උපදෙස් දී ඇත්තේ නිලවරණය යොද‌ාගත් පරිදි පවත්වන ලෙසත් සභාවේ ගණපූර්ණය පිළිබඳව ගැටලුවක් පැන නැගුණොත් එය එම අවස්ථාවේ දී සලකා බැලීම වඩාත්ම උචිත ක්‍රියාමාර්ගය බවයි.

ඊයේ හමුවේ දී ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගේ ඉල්ලීමක් පරිදි නිලවරණය සඳහා පොලිස් ආරක්ෂාව ලබා දීමටත් නිලවරණය අධීක්ෂණය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් තිදෙනකු පත් කිරීමටත් තීරණය වී තිබේ.

 නාමයෝජනා අවම ගණනක් ඉදිරිපත් වීම නිසා ඉදිරිපත්ව සිටින සියලුම නිලධාරීන් නිතරගයෙන් පත්වෙන අතර ඒ අනුව සභාපති ධුරයට ඒ.ඒ. ජයතිස්ස මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය.

 

 


අදහස් (0)

එල්ලේ නිලවරණයට පොලිස් ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.