Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 20න් පහළ කිරීමට සංගම් කිහිපයක යෝජනාවක්

20න් පහළ කිරීමට සංගම් කිහිපයක යෝජනාවක්

යොහාන් භාසුර - 2020 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් මෙම වසරේ පාසල් ක්‍රීඩා අඩපණ වීමට පිළියමක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා අන්තර් පාසල් ක්‍රීඩා තරගාවලිවල ඉහළතම වයස් කාණ්ඩය වයස 20 න් පහළ දක්වා ඉහළ දමන ලෙස යෝජනා කිරීමට පාසල් ක්‍රීඩා සංගම් කීපයක් සූදානමින් සිටින බව වාර්තා වේ. වයස 20 න් පහළ වයස් කාණ්ඩය අවම වශයෙන් වසර තුනක් පමණ ක්‍රියාත්මක කිරීමට ද එහිදී වැඩි දුරටත් යෝජනා කිරීමට නියමිතය.

ප්‍රධානම පාසල් ක්‍රීඩා දෙකක් වන ක්‍රිකට් සහ රග්බි ඇතුළු ක්‍රීඩා රැසක අවසන් වයස් කාණ්ඩය වයස 19 න් පහළ ලෙස ක්‍රියාත්මක වේ. එය එසේ වුවද තවත් ප්‍රධානතම ක්‍රීඩා දෙකක් වන මලල ක්‍රීඩා සහ වොලිබෝල් ඇතුළු ක්‍රීඩා කීපයක අවසන් වයස් කාණ්ඩය වයස 20 න් පහළ ලෙස පවතී.

මෙම තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ප්‍රධාන පාසල් ක්‍රීඩා සංගමයක නිලධාරියකු පැවසුවේ ක්‍රිකට් සහ රග්බි යන ක්‍රීඩාවල අනාගතය සඳහා එම වයස් කාණ්ඩ ද 20 න් පහළ කළ යුතු බවයි.
“රග්බි සහ ක්‍රිකට් ලබන වසරේ වයස 19 න් පහළ ලෙස පැවැත්වුවහොත් 2022 වන විට වයස 19 න් පහළ තරගාවලිය දුර්වල වෙන්න පුළුවන්. වසර දෙකක් යන විට එම තරගාවලි තුළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිවීමේ මෙම තත්ත්වයක් උදාවෙනවා”

“රග්බි සහ ක්‍රිකට් කියන්නේ අපේ රටේ ඉහළින්ම තියෙන ක්‍රීඩා දෙකක්. ඒ දෙක වැටෙන්න දෙන්න නරකයි”

“මේක පාසල් සංගම්වලට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. රටේ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය පෙරමුණ ගතයුතුයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම වසරේ පාසල් ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට නොහැකි වීමෙන් මෙවර අවසන් වසරට ක්‍රීඩා කිරීමට නියමිත සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව නොලැබීම කණගාටුදායකය. ලබන වසරේ වයස් කාණ්ඩය 20 න් පහළ කළ හොත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද අවසන් වසර ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ.

ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවල අන්තර්ජාතික මට්ටමේදී යොවුන් වයස් කාණ්ඩ වයස 19 න් පහළ ලෙස පැවැතීම ශ්‍රී ලංකාවේ ද එම ක්‍රීඩාවල ඉහළතම වයස් කාණ්ඩය වයස 19 න් පහළ කිරීමට ප්‍රධාන හේතුව වේ.  

 


අදහස් (0)

20න් පහළ කිරීමට සංගම් කිහිපයක යෝජනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.