Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් තරගාවලිය සැප්තැම්බරයේදී

ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් තරගාවලිය සැප්තැම්බරයේදී

editorial - 2020 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමන ලද 132 වැනි ‘ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් තරගාවලිය’ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සැලසුම් කරමින් සිටියි. මෙම තරගාවලිය නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී හෝ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දින නියම කරගත් වහාම නිවේදනයක් නිකුත් කිරීමට ගොල්ෆ් සංගමය සූදානමින් සිටියි.

එංගලන්ත ආධුනික ගොල්ෆ් තරගාවලියෙන් පසුව ලොව දෙවැනි පැරණිම ගොල්ෆ් තරගාවලිය වන්නේ ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් තරගාවලියයි. එය මේ වසරේ (2020) පෙබරවාරි මස හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකාවට අමතරව දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් නියෝජනය කරමින්ද මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිත බව තරගාවලියේ සම්බන්ධීකාරක දුමින්ද ද සොයිසා මහතා පවසයි.

සෙසු ක්‍රීඩා වලට සාපේක්ෂව ගොල්ෆ් ක්‍රීඩාව අවදානමින් අඩු ක්‍රීඩාවක් වීම නිසා සැප්තැම්බර් මාසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ විධායක කමිටු රැස්වීමකදී තීරණය කර තිබේ. කෙසේ වුවත් තවමත් කොරෝනා වයිරස අවදානම පවතින රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සම්බන්ධ කරගැනීම මේ වන විට ගැටලු සහගත තත්වයකට තුඩුදී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ද සොයිසා මහතා කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළදී එම රටවල්වල තත්වයද සාමාන්‍ය අතට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය බලාපොරොත්තු වන බවය. මින් පෙර මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා තරග එකවර පැවැතියද, මෙවර කාන්තා තරග නිමා වීමෙන් පසු පිරිමි තරග පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු සූදානම් කරමින් සිටිති.

ක්‍රීඩා අමාත්‍යංශයේ අවසර ලැබුණ සැණින් දැනට තාවකාලිකව නවතා දමා ඇති ජාතික සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීමටද ගොල්ෆ් සංගමය සූදානම් වෙයි.  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ජාතික ගොල්ෆ් සංචිතයට ක්‍රීඩකයෝ 16 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ සිවුදෙනෙක් ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයෝ හය දෙනෙක්ද සිටිති.

මිතුන් පෙරේරා (කොළඹ), අනුර රෝහණ (කොළඹ), එන්. ත්‍යාගරාජ් (කොළඹ), එම්. ප්‍රභාකරන් (නුවරඑළිය), විජිත බණ්ඩාර (මහනුවර) සහ ජී.එම්. ප්‍රදීප් කුමාර (කොළඹ) එම සංචිතයට ඇතුළත්ව සිටින වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන් 6 දෙනා වෙති.

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් තරගාවලිය සැප්තැම්බරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.