Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ටත් කොරෝනා

ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ටත් කොරෝනා

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හත්වරක් ෆෝමියුලා-I ලෝක ශූරතාව දිනා සිටින එංලන්ත ජාතික ලුවිස් හැමිල්ටන්ට කො‍විඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ඔහුට මෙම සති අන්තයේ (6 වැනිදා) බහරේනයේදී පැවැත්වෙන ගෝන් ප්‍රී තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇත.

අවසන් වරට ඉකුත් ඉරිදා (29 වැනිදා) පැවැති බහරේන් ගෝන් ප්‍රී තරගය ජයගනිමින් මේ වසරේදී (2020) ලැබූ 11 වැනි ජයග්‍රහණය සැමරූ හැමිල්ටන්, මේ වන විට බහරේනයේ සෞඛ්‍ය නීතිවලට අනුව ප්‍රතිකාර ලබමින් හුදෙකලා වී සිටියි.

හැමිල්ටන් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම අද (1 වැනිදා)  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතිය තුළදී ඔහු තුන් වරක් පරීක්ෂණවලට මුහුණදුන් බවත්, ඒ සෑම අවස්ථාවකදීම ඔහුට වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බවත්ය‍.

“සඳුදා උදෑසන ඔහු අවදිවන විට රෝග ලක්ෂණ යන්තමින් පහළ වී තිබිණ. ඒ සමගම වාගේ ඔහුට දැනගැනීමට ලැබුනේ බහරේන් බලා පැමිණීමට පෙර ඔහු සමග සිටි අයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි. එබැවින් ඔහු යළිත් වරක් පරීක්ෂණයකට යොමු කිරීමට කණ්ඩායමේ කලමනාකාරීත්වය පියවර ගත් අතර එහිදී ඔහුටද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා” යැයිද එම නිවේදනයේ සඳහන් වේ.  

“සුළු රෝග ලක්ෂණ කිහිපයක් හැරුණු කොට හැමිල්ටන් ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවන බවත්, ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා සමස්ත කණ්ඩායමම ඔහුට සුබ පතන බවත් මර්සිඩීස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයට අන්තර්ගත වේ.

35  හැවිරිදි හැමිල්ටන් මේ ව‍සරේ තුළ මෙතෙක් පැවැති ගෝන් ප්‍රී තරග 15 ටම සහභාගි වූ අතර ඉන් 11 ක් ජයගනිමින් සිය 7 වැනි ලෝක ශූරතාවද දිනාගත්තේය. ජර්මානු ජාතික මයිකල් ශූමාකර් පිහිටුවා තිබූ වැඩිම ලෝක ශූරතා සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට මෙන්ම ශූමාකර්ගේම වාර්තාවක් වූ වැඩිම ෆෝමියුලා-I ජයග්‍රහණය සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමටද හැමිල්ටන් සමත් විය.

ඕස්ට්‍රියාවේදී පැවැති ස්ටයිරියන්, ජර්මනියේදී පැවැති එෆිල්, ඉතාලියේදී පැවැති ටස්කන් සහ එමිලියා රොමන්ගා යන ගෝන් ප්‍රී තරගද, හංගේරියානු,  බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඥ, බල්ගේරියානු, පෘතුගාල, තුර්කි සහ බහරේන ගෝන් ප්‍රී තරගද මේ වසර තුළදී හැමිල්ටන් විසින් ජයගන්නා ලද ෆෝමියුලා-I තරග විය.

මේ මස 6 වැනිදා බහරේන්හිදී පැවැත්වෙන සකීර් ගෝන් ප්‍රී තරගයෙන් අනතුරුව වසරේ අවසන් ගෝන් ප්‍රී තරගය ලෙස මෙම මස 17 වැනිදා අබුඩාබි ගෝන් ප්‍රී තරගය පැවැත්වීමට නියමිතය. මේ වන විට ලකුණු 332 ක් ලබා සිටීම හේතුවෙන් අවසන් තරග දෙකට සහභාගි වීමට නොහැකි වුවද හැමිල්ටන්ට මෙම වසරේ ලෝක ශූරතාව හිමිවී තිබේ.  ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින වෙල්ටරි බොටාස් (201), හැමිල්ටන්ට වඩා ලකුණු 131 ක් පසුපසින් සිටීමට ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

සකීර් සහ අබුඩාබි ගෝන් ප්‍රී තරග දෙකම ජයගත්තද බොටාස්ට ලබාගත හැකි වන්නේ ලකණු 50 ක් පමණි.

-036

 


අදහස් (0)

ලෝක ශූර ලුවිස් හැමිල්ටන්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.