Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිනවුන් අපේක්‍ෂා සුන්වෙයි

රිනවුන් අපේක්‍ෂා සුන්වෙයි

නාමල් පතිරගේ - 2020 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පොලිස්, ගුවන් හමුදා, සෝන්ඩර්ස් හා කළුතර බ්ලූස්ටාර්ස් යන ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා සිටිති. අර්ධ අවසන් පූර්ව වටයේදී ලද පරාජයත් සමග රිනවුන් ක්‍රීඩා සමාජයේ කුසලාන අපේක්‍ෂා පසුගිය සෙනසුරාදා (11) නිමාවට පත් විය. රිනවුන් කණ්ඩායමේ තරගාවලියේ ආසන්නම ඉහළම දස්කම් වසර 2016 තරගාවලියේ අනුශූරතාව ලැබීමයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුවේ සභාපති සහරාන් සිංහවංශ මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ලබන පෙබරවාරි 7 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග දෙක සඳහා කණ්ඩායම් තීරණය කෙරෙන්නේ විවෘත කුසපත් ඇදීමකින් බවයි. අවසන් පූර්ව වටය වඩාත් විනිවිදභාවයකින් යුතුව පැවැත්වීම සඳහා කුසපත් ඇදීමෙන් කණ්ඩායම් තෝරා ගැනීමට තීරණය කර තිබේ.

පැවති පෙර අර්ධ අවසන් වටයේදී පොලිස් පිල හා සිවිල් ආරක්‍ෂක සේවා පිල අතර පැවැති තරගය ගෝල 5-2 කට ඉතා පහසුවෙන් ජයගනිමින් පොලිස් ක්‍රීඩකයෝ වසර 2008 න් පසුව යළිත් එෆ්.ඒ. කුසලාන හිමි කර ගැනීමේ මාර්ගයට ළඟා වී සිටිති.

පසුගිය වසරේ අනුශූරතාව ලද සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියෙන් පෙරමුණ කරා ඇදෙමින් අවසන් පූර්ව වටයට ප්‍රවේශ වී සිටී. මෙතෙක් එෆ්.ඒ. කුසලාන දිනා නැති කළුතර බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජයට ඉරිදා (12) පෙර අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සමග ඒ පිළිබඳව නැවත සිතාබැලීමේ අවස්ථාවක් හිමිව තිබේ.

ඒ එතෙක් පෙර අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමින් දස්කම් දැක් වූ නවක බන්ධනාගාර කණ්ඩායම පරාජයට පත් කරමිනි. අවසන් පූර්ව හා අවසන් මහ තරගය කොළඹ රිඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන බව ප්‍රකාශ වුවත් එම තරග සූගතදාස පිටියේදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරන බව තරග කමිටුවේ සභාපති සහරාන් සිංහවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය මාර්තු මාසයේදී නිල වශයෙන් ආරම්භ වීම ප්‍රකාශ වූ 2019 එෆ්.ඒ. කුසලාන පාපන්දු තරග මාලාව සඳහා දිවයිනේ පාපන්දු ලීග 63 කින් කණ්ඩායම් 827 ක් සහභාගි වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරයි.

අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිඵල

● පොලිස් පිල විසින් සිවිල් ආරක්‍ෂක සේවා පිල පරාජය කරන ලදී (5-2)
● ගුවන් හමුදා (බ්ලූ ඊගල්) පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදී (2-1)
● සෝන්ඩර්ස් පිල විසින් නාවික හමුදා (සී හෝක්ස්) පිල පරාජය කරන ලදී (1-0)
● කළුතර බ්ලූස්ටාර්ස් පිල විසින් බන්ධනාගාර පිල පරාජය කරන ලදී (1-0)

 


අදහස් (0)

රිනවුන් අපේක්‍ෂා සුන්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.