Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල ක්‍රීඩා නිලවරණය අප්‍රේල් 24

මලල ක්‍රීඩා නිලවරණය අප්‍රේල් 24

editorial - 2021 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ 2021-24 නිලවරණය අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමටත් නාමයෝජනා කැඳවීම ලබන මාර්තු 2 වැනිදා සිට 16 වැනිදා දක්වා සිදු කිරීමටත් පසුගිය 31 වැනිදා පැවැති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විශේෂ මහා සභා රැස්වීමේ දී තීරණය විය. මෙවර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වීමේ දී විශේෂත්වයක් ගන්නේ එයින් පත් වන විධායක සභාව වසර 2022 පෙබරවාරි 18 වැනිදාට යෙදෙන එහි ශත (සියවැනි) සංවත්සර සැමරුම මෙහෙයවීමේ ගෞරවනීය අවස්ථාව ලබා ගැනීමයි.

තමා තවත් වරක් සභාපති ධුරයට ඉදිරිපත් වන බව එහි වත්මන් සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. පාලිත ප්‍රනාන්දු මහතා  වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාද වෙයි.  මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වෙනත් පාර්ශ්වයක් විසින් දේශපාලනයේ ප්‍රබලතම තවත් මුහුණක් සභාපති ධුරයට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව ද වාර්තාවේ.

විශේෂ මහා සභා රැස්වීමේ දී තීරණය කළ පරිදි නිලවරණය මෙහෙයවීමේ ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු උපාලි සමරසිංහ මහතා පත්කර තිබේ.
එච්.යූ. සිල්වා හා සී. රත්නමුදලි යන මහත්වරු නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණයේ දී ඡන්ද බලය හිමි දිස්ත්‍රික් සංගම් ගණන 25 කි. ඒ හැරෙන්නට ව්‍යවස්ථාපිත සංගම් හා ක්‍රීඩා සමාජ 14 ක් සඳහා ද ඡන්ද බලය හිමිව තිබේ.
කෙසේ වුවත් පසුගිය වසර කීපයක් ක්‍රියාකාරී නොවූ බවට චෝදනා එල්ලවී තිබෙන දිස්ත්‍රික් සංගම් හතරක් නිලවරණයට සහභාගි කරගන්නේ දැයි අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ලේකම් ප්‍රේමා පින්නවල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් නිර්දේශ කිරීමට ද ඊයේ තීරණය විය.

1922 පෙබරවාරි 18 වැනිදා ලංකා මලල ක්‍රීඩා සංගමය නමින් මෙරට මලල ක්‍රීඩා පරිපාලන මෙහෙයවීම් සඳහා ආරම්භ වූ එම සංගමය පසුව ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය නමින් හැඳින්වූ අතර වසර 2002 සිට එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ලෙස ව්‍යවහාර වීම ආරම්භ විය. අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය මලල ක්‍රීඩා නමින් හැඳින්වීමට ගත් තීරණයට අනුව යමින් එහි අනුමැතිය ද ලබා ගනිමින් වසර 2019 සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ ලෙස නම් කර තිබේ.

වසර 2022 පෙබරවාරි 18 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ශත සංවත්සරය ‘ලෝක මලල ක්‍රීඩා’ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් ලෙස පැවැත්වීමට ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ දැනටමත් සැලසුම් කර තිබේ.

 


අදහස් (0)

මලල ක්‍රීඩා නිලවරණය අප්‍රේල් 24

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.