Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩබ්ලිව්වරුන් තිදෙනාගේ අවසන් පුරුකත් හැලෙයි

ඩබ්ලිව්වරුන් තිදෙනාගේ අවසන් පුරුකත් හැලෙයි

editorial - 2020 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 70 කට පමණ ඉහතදී, බටහිර ඉන්දීය කොදෙව් පිතිහරඹයේ දැවැන්ත ත්‍රිත්වයක් වූ සුප්‍රසිද්ධ “ඩබ්ලිව්වරුන් තිදෙනාගේ“ අවසන් පුරුක වූ ශ්‍රීමත් එවර්ටන් වීක්ස් අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 95 කි.

ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් සහ ක්ලයිඩ් වෝල්කට් සමඟ එකට ක්‍රීඩා කළ එවර්ටන් වීක්ස් 1950 දශකයේදී පන්දු යවන්නන් සන්ත්‍රාසයට පත්කළේය.

ඔවුහු තිදෙනාම 1948 දී ටෙස්ට් පිටියට පිවිසියහ. මේ තිදෙනාම බාර්බඩෝස් දූපතේ සැතපුම් එකහමාරක පමණ දුරකින් පිහිටි නිවෙස් වල උපත ලැබූ අතර ඔවුන් තිදෙනාගේම උපන් දින අතර පරතරයද අවුරුදු එක හමාරකි.

සුප්‍රසිද්ධ ඩබ්ලිව්වරුන් තිදෙනාගේ අවසන් පුරුක වූ වීක්ස් මහතා බදාදා (1 වැනිදා) අවසන් හුස්ම හෙළීය. ෆ්‍රෑන්ක් වොරල් 1967 දීත්, ක්ලයිඩ් වෝල්කට් 2006 දීත් මියගොස් තිබිණ. වීක්ස් මහතාගේ මිය යාමෙන් පසුව බ්‍රිජ්ටවුන්හි පිහිටි ජාතික ක්‍රීඩාංගණය ‘ඩබ්ලිව්වරුන් තිදෙනාගේ ඕවල් පිටිය‘ ලෙසින් නම්කරන ලදි.

ඉතා ගෞරවනීය පුහුණුකරුවෙකු, විශ්ලේෂකයෙකු, කණ්ඩායම් කළමනාකරුවෙකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයකුද වූ වීක්ස් මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කීර්තිධරයන්ගේ නාමාවලියටද ඇතුළත් වූ අයකු විය.

යන්තම් 22 හැවිරිදි වියේදී එංගලන්තයට එරෙහිව කෙන්සිංටන් ඕවල්හිදී එවර්ටන් වීක්ස් සිය පළමු ටෙස්ට් තරගයට පිවිසියේය. ඔහුගේ අවසන් තරගය දශකයකට පසුව ට්‍රිනිඩෑඩ්හිදී පාකිස්තානයට එරෙහිව විය.

ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, වීක්ස් ටෙස්ට් තරග 48 කට ක්‍රීඩා කර ඇති අතර ඉනිමකට ලකුණු 58.61 ක සාමාන්‍යයකින් ලකුණු 4,455 ක් රැස් කළේය. 1948 දී අඛණ්ඩව ටෙස්ට් ශතක 5 ක් ලබාගත් වීක්ස් හයවැනි ඉනිමේදී දුවද්දී දැවීයාමට පෙර ලකුණු 90 ක් ලබා සිටියේය. 1948 දී  ජැමෙයිකාවේ එංගලන්තයට එරෙහිව ලකුණු 141 ක්  ලබාගැනීමෙන් පසුව
 ඉන්දියාවේදී පිට පිටම පැවැති ටෙස්ට් ඉනිම 4 කදී ලකුණු 128, 194, 162 සහ 101 ක් ද ලබාගත්තේය.

ටෙස්ට් ලකුණු ලබාගැනීමේදී ඔහුගේ සාමාන්‍ය (ලකුණු 58.61) ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනා අතර වෙයි. එහි මුල් අංකය හිමිවන්නේ ටෙස්ට් ඉනිමකදී ලකුණු 99.96 ක සාමාන්‍යයක් හිමි ඕස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ටය.

“ශ්‍රීමත් එවර්ටන්  වීක්ස් නික්මයාමේ පුවත ගැන එම්.සී.සී. සහ ලෝඩ්ස් හි සිටින සියල්ලන්ම කණගාටුවට පත්වෙනවා.....ඔහු බටහිර ඉන්දීය කොදෙව් පිලේ සිටි දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සදහටම සිහිපත් කෙ‍රෙනු ඇත.“ යයි එංගලන්තයේ මාර්ලිබෝන්  ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති රිකී ස්කෙරිට් මහතා පැවසුවේ වීක්ස් මහතා  “පුදුමාකාර මිනිසෙකු” බවයි.


අදහස් (0)

ඩබ්ලිව්වරුන් තිදෙනාගේ අවසන් පුරුකත් හැලෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.