Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ගැන ක්‍රීඩකයෝම මැසිවිලි නඟති

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ගැන ක්‍රීඩකයෝම මැසිවිලි නඟති

යොහාන් භාසුර - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් ඇතිවූ අපහසුතාව මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයෙන් ලබාදුන් දීමනාව ප්‍රමාණවත් නොවන බවට ක්‍රීඩකයෝ කනස්සල්ල පළකරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජ දෙකකදී පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුවට ඇතුළත් නොවන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට රුපියල් 5,000 ක් වටිනා වවුචරය බැගින් ලබාදී තිබේ. ක්‍රීඩකයන්ට ලබාදී ඇති රුපියල් 5,000 ක වවුචර් ප්‍රධාන වෙළෙඳ ආයතන කීපයක කොටස් ලෙස ලබාදී ඇති බවට ද වැඩි දුරටත් කනස්සල්ල පළවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය වැනි විශාල අරමුදල් ඇති සංගමයකින් පළමු පෙළ ක්‍රීඩකයන් වෙනුවෙන් මෙවැනි අඩු වටිනාමකින් යුත් වවුචරය බැගින් ලබාදීම පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩකයෝ විමතිය පළකරති.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෝ වැඩි පිරිසක් මෙම සංගමයේ සාමාජිකත්වය දරති.  

මෙම වවුචරය හිමිවූ ඇතැම් ක්‍රීඩකයන් එය ලබාගැනීම සඳහා ගාල්ල, මාතර, හලාවත වැනි ප්‍රදේශවල සිට කොළඹට පැමිණ ඇති බවත් ඔවුන්ට කොළඹට පැමිණ නැවත නිවස බලා යෑමට රුපියල් 2000 ක පමණ මුදලක් වැය වී ඇති බවත් ක්‍රීඩකයෝ පවසති.

පළමු පෙළ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයක නිලධාරියකු පැවසුවේ කොන්ත්‍රාත්තුවට ඇතුළත් නොවන ක්‍රීඩකයන්ට මීට වඩා සහයෝගයක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ලබාදෙනු ඇතැයි ක්‍රීඩා සමාජ බලාපොරොත්තු වූ බවයි.

“අපෙන් කළ ඉල්ලීමකට අනුව ක්‍රීඩකයන්ගේ තොරතුරු ලබාදුන්නා. පළමු පෙළ තරගයකදී ක්‍රීඩකයකුට තරගයක දිනයක් වෙනුවෙන් රුපියල් 12,000 ක දීමනාවක් ලැබෙනවා. ඒ වගේම පුහුණු සැසියකට දිනකට ක්‍රීඩකයකු වෙනුවෙන් රුපියල් 2000 කට වැඩි මුදලක් වැය කරනවා”

“ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය වැනි මුදල් තිබෙන සංගමයක් මේ වගේ දෙයක් කරයි කියලා අපි හිතුවේ නෑ” යැයි එම ක්‍රීඩා සමාජ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම වවුචර් බෙදාදීමේ අවස්ථා දෙකට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීන් වන ග්‍රැහැම් ලැබ්රෝයි සහ ප්‍රියන්ත උදයරත්න යන මහත්වරුන්ගෙන් මේ පිළිබඳව දැනගැනීමට ඔවුන් හා දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත ද ඔවුහූ පසුව සම්බන්ධ වන බව පවසා දුරකථනය විසන්ධි කළහ. එහෙත්  නැවත සම්බන්ධ නොවූහ.     

 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ගැන ක්‍රීඩකයෝම මැසිවිලි නඟති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.