Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එළියකන්ද තරණය 27 -28 මාතරදී

එළියකන්ද තරණය 27 -28 මාතරදී

ශානුක අරවින්ද - 2021 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරට සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 27 සහ 28 යන දිනවලදී පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.

මේ වසරේදී (2021) පැවැත්වෙන පළමු මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මෙන්ම ජාතික මෝටර් රථ ශූරතාවලියට අයත් පළමු තරගාවලිය ලෙසද මෙම තරගාවලිය හැදින්විය හැකිය. එස්.එල්.ටී. මොබිටෙල් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

මීටර් 600 ක දුරකින් යුත් තාර ඇතිරූ, බෑවුම් සහිත මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 17 කින් සහ යතුරුපැදි ඉසව් 16 කින් සමන්විත වේ. එම ඉසව් සඳහා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 200 ක් පමණ සහභාගිවනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි වන තරගකරුවන්ට පුහුණුවීම් සඳහා දිනයක් වෙන කර දී නොමැති අතර 27 වැනිදා (සෙනසුරාදා) යතුරුපැදි තරගද, 28 වැනිදා (ඉරිදා) මෝටර් රථ තරගද පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යෙදා ඇත.
සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර එහිදී අඩුම වේලාවකින් තරගය නිමා කරන්නා තරගාවලියේ දක්ෂතම රියැදුරා සහ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය.

ඉකුත් වසරේ (2020) පැවැති එළියකන්ද තරණයේදී දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන් සිල්වා සමත් විය. එහිදී ඔහුට ගමන්වාරයක් නිමා කිරීම සඳහා වැය වූ අවම කාලය තත්පර 32.428 කි.

එම වසරේදී අවම කාලයකින් (තත්පර 33.752 කින්) ගමන් වාරයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගනු ලැබුවේ සංගීත් සූරියගේ විසිනි. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි ඉසව්ව ජය ගනිමිනි.

කෙසේ වුවත් මේ දක්වා පැවැති එළියකන්ද තරණ තරගාවලි 24 තුළදී ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම කාලයට හිමිකම් කීමට ඩිලාන් සෙනෙවිරත්න සමත්ව සිටියි. 2018 පැවැති තරගාවලියේදී එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1665 දක්වා) නවීකරණය කළ ෆෝමියුලා මැක්ලරන්ස් ඉසව්ව තත්පර 32.422 කින් නිමා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබේ.

071-6095549 යන දුරකතන අංකය ඔස්සේ සරිඳු ගමගේ මහතා හෝ 0710660675 යන දුරකතන අංකය ඔස්සේ සඳරු ධීරසේකර මහතා සම්බන්ධ කර ගැනීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

 


අදහස් (0)

එළියකන්ද තරණය 27 -28 මාතරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.