Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලකුණු 3 කින් සම්මානය ගිළිහෙයි

ලකුණු 3 කින් සම්මානය ගිළිහෙයි

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------------
රොෂාන් ගුණරත්න
------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් සමගින් තරග 6 කදී ලකුණු 348 ක් ලබාගත් නමුත් ලකුණු 3 ක් මඳිවීම නිසා තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවාට හිමි සම්මානය දිනාගැනීමේ අවස්ථාව චරිත් අසලංකගෙන් ගිළිහී ගියේය. ඉනිමක සාමාන්‍යය ලකුණු 87.00 කි. මෙහිදී වඩාත් අසාධාරණයට ලක්වූ පිතිකරුවා වන්නේ තරග 5 කදී ලකුණු 323 ක් ලබාගත් රාගම ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේය.

ලියනගේ තරග 5 කින් පසුව පවත්වාගෙන යන සාමාන්‍යය 161.50 කි. එහෙත් ජනිත් ලියනගේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 4 වැනි ස්ථානය ලබා සිටින්නේ අනෙක් පිතිකරුවන්ට වඩා තරගයක් අඩුවෙන් ක්‍රීඩා කරමිනි.

මූලික වටයේ තරග අවසන් වන විට මූවර්ස් පිලේ මහේල උඩවත්ත ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 351 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගත්තේය. ලකුණු 348 ක් ලබාගත් චරිත් අසංලක දෙවැනි ස්ථානයට පත්විය.

මෙවර තරගාවලියේදී ශතක 24 ක් වාර්තා වූ අතර එහිදි එස්.එස්.සී පිලේ චරිත් අසලංක සහ සම්මු අශාන් ශතක 2 බැගින් ලබාගැනීමට සමත් වූ අතර සෙසු පිතිකරුවෝ 20 දෙනෙකු ශතකය බැගින් ලබාගැනීමට සමත්වූහ. දැනට පවතින නීති රීති අනුව තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා තෝරාගනු ලබන්නේ තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වන තුරු දැක්වූ දක්‍ෂතා සැලකිල්ලට ගනිමිනි.

මූවර්ස් පිලේ ප්‍රවීන් ජයවික්‍රම සහ සැරසන්ස් පිලේ චමින්ද බණ්ඩාර කඩුලු 15 බැගින් දවාගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නෝ බවට පත්වූහ. කඩුලු 4 බැගින් දවාගත් අවස්ථා 19 ක් වාර්තා වූ අතර කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 8 ක් ද වාර්තා විය.

අර්ධ අවසන් පූර්ව වටය සඳහා එස්.එස්.සී, මූවර්ස්, එන්.සී.සී, ද්‍රවිඩ සංගමය, රාගම, නාවික හමුදාව, බදුරලිය සහ යුදහමුදාව යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති. එහෙත් දේශීය අන්තර් සමාජ තරග අතරේ නිරන්තරයෙන්ම  ඉදිරියෙන් සිටි සී.සී.සී., බ්ලූම්ෆීල්ඩ්, බී.ආර්.සී, සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජ වලට මේ වසරේදී ප්‍රධානතම එක්දින තරගාවලියේ හොඳම 8 දෙනා අතර ස්ථානයක් සොයාගත නොහැකි විය.

අර්ධ අවසන් පූර්ව තරග මොරටුව ද සොයිසා, කටුනායක මේරියන්ස්, කෝල්ට්ස් සහ පී.සරා ඕවල් යන ක්‍රීඩාංගණවලදී හෙට (7 වැනිදා) පැවැත්වේ. අවසන් පූර්ව තරග 9 වැනිදා සී.සී.සී සහ එන්.සී.සී ක්‍රීඩාංගණවලදීත්, අවසන් මහා තරගය 11 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


හෙට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග

■    බදුරලිය සහ මූවර්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
■    ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
■    නාවික හමුදාව සහ එන්.සී.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
■    යුදහමුදාව සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

ලකුණු 3 කින් සම්මානය ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.