Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවේ ජය ඉක්මන් කරති
සජීවී විස්තර

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවේ ජය ඉක්මන් කරති

editorial - 2019 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ලකුණු 147 කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් සහ වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් අත්විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහායක් දුන් වනිඳු හසරංග එකම ඕවරයක් තුළ කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 38 ක් ලබාදෙමිනි.

පාකිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 20 ක් තුළ බිඳවැටුණ අතර 16 වැනි ඕවරයේදී ඉමාඞ් වසීම් දවාගැනීමට ඉසුරු උදාන සමත් වීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ විය.

----------------------------------------------------------------------------------------------------------------------

ඉමාඩ් - අසීෆ් උඩුගම් බලා පිහිනති

ඉමාඞ් වසීම් (නොදැවී 38) සහ අසීෆ් අලී (නොදැවී 22) එක්ව හයවැනි කඩුල් වෙන්වෙන් පන්දු 42 කදී ගොඩනැගූ ලකුණු 65 ක නොබිඳුණ සම්බන්ධතාව හේතුවෙන් ඕවර 15 ක් නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියේය.

එකොලොස් වැනි ඕවරයත් 15 වැනි ඕවරයත් අතර ඕවර 5 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් ලබා නොදුන් ඉමාඞ් සහ අසීෆ් එහිදී වේගවත් පිතිහරඹයක නිතර වෙමින් ලකුණු 49 ක් රැස්කිරීමට සමත් වූහ.

ඕවර 15 ක් අවසනායේ පන්දු 25 කට මුහුණදී සිටි ඉමාඞ්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබූ අතර පන්දු 18 කට මුහුණදී සිටි අසීෆ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

----------------------------------------------------------------------------------------------------------------------

වනිඳු පාකිස්තානය අසරණ කරයි

ලකුණු 183 ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්තාන කණ්ඩායම ඕවර 10 ක් අවසානයේ ලකුණු 68 කට කඩුලු 5 ක් බිඳ වැටී ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය. ඉමඞ් වසීම් සහ අසීෆ් අලී ලකුණු 7 බැගින් ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

හත්වැනි ඕවරය ආරම්භ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම 8 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 52 කට කඩුලු 5 ක් බවට පත් කිරීමට දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සමත් විය.

එම ඕවරයේ තෙවැනි පන්දුවේදී අහමඞ් ශේෂාඞ්ගේ (13) කඩුල්ල බිඳ දැමූ වනිඳු, තෙවැනි පන්දුවේදී උමාර් අක්මාල් (0) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. ඉන් නොනැවතුණ වනිඳු, අවසන් පන්දුවේදී සර්ෆරාස් අහමඞ්ගේ කඩුල්ලද බිඳ දැමුවේ ඔහු හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් ලබා සිටියදීය.

----------------------------------------------------------------------------------------------------------------------

ෆාකාර් - බාබර් දැවී යති

මුල් ඕවර 5 තුළදී පාකිස්තාන කණ්ඩායමට කඩුලු 2 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 27 ක් පමණි. ඒ වන විට නායක සර්ෆරාස් අහමඞ් පන්දු 9 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 13 ක්ද, අහමඞ් ශේෂාඞ් පන්දු 7 කදී ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

කසුන් රාජිතගේ පන්දුවකට ස්කූප් පහරක් ගැසීමට උත්සාහ කිරීමේදී පාදයේ වැදුණ පන්දුව කඩුල්ල තුළට ඇදී ඒම නිසා ෆකාර් සමාන්ට ලකුණු 6 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස බාබර් අසාම් දැවී ගියේද එවැනිම ආකාරයෙනි. පිත්තේ ඇතුළත දාරයේ වැදුණු නුවන් ප්‍රදීප්ගේ පන්දවක් කඩුල්ල මත පතිත වීම හේතුවෙන් බාබර්ගේ ඉනිම ලකුණු 3 කට සීමා විය.

----------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාවෙන් ලකුණු 183 ක ඉලක්කයක්

ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටි දසුන් ශානක පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 27 ක්ද, වනිඳු හසරංග පන්දු 2 කදී නොදැවී ලකුණු 2 ක්ද ලබා ගත්හ.

පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක් ලබා සිටි ෂෙහාන් ජයසූරිය දුවද්දී දවාගැනීමට අසීෆ් අලී සමත් වූ අතර ඒ සමගම ඔහු සහ භානුක රාජපක්ෂ අතර පැවැති තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවද ලකුණු 94 කට සීමා විය.

ෂෙහාන්ගේ දැවී යෑමෙන් පන්දු 4 කට පසුව භානුක රාජපක්ෂද දැවී ගියේ ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ෆකාර් සමාන් අතට උඩ පන්දුවක් දෙමිනි. පන්දු 48 කට මුහුණදුන් භානුක හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 77 ක් රැස්කළේය.

ඔහුගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි මිනෝද් භානුකට මුහුණදීමට හැකි වූයේ එක් පන්දුවකට පමණි. එහිදී ඔහු ලකුණු නොළබාම දැවී ගියේ නොතිබූ ලකුණක් සඳහා පැති මාරුකර ගැනීමට ගත් උත්සාහයක් වැරදී යෑම හේතුවෙනි.

----------------------------------------------------------------------------------------------------------------------

භානුක (70) ප්‍රවේගකාරී පිතිහරඹයක

පන්දු 31 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගත් භානුක රාජපක්ෂ, ඕවර 15 ක් නිමා වන විට පන්දු 44 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

ඕවර 15 ක් අවසානයේ කඩුලු 2 කට ලකුණු 135 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩයමේ තෙවැනි කඩුල්ල වෙනුවන් ෂෙහාන් ජයසූරිය (34) සමග එක්ව පන්දු 60 කදී ලකුණු 94 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද භානුක සමත් විය.

පන්දු 26 කට මුහුණදී සිටින ෂෙහාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත්වී තිබිණ.

----------------------------------------------------------------------------------------------------------------------

භානුක - ෂෙහාන් සාර්ථක ගමනක

භානුක රාජපක්ෂගේ (නොදැවී 33) සහ ෂෙහාන් ජයසූරියගේ (නොදැවී 18) වේගවත් පිතිහරඹය හමුවේ ඕවර 10 ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියේය.

ඉනිමේ දෙවැනි ඕවර 5 තුළදී පාකිස්තාන පන්දු යවන්නන්ට කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් ලබා නොදුන් භානුක සහ ෂෙහාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 39 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගූහ.

මේ වන විට පන්දු 24 කට මුහුණදී සිටින භානුක හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 ක් සමගද, පන්දු 16 කට මුහුණදී සිටින ෂෙහාන් හතරේ පහර 2 ක් සමගද ලකුණු රැස්කරමින් සිටිති.

----------------------------------------------------------------------------------------------------------------------

ආරම්භක පිතිකරුවෝ දැවී යති

මුල් ඕවර 5 නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 41 ක් ලබා සිටියේය. ඒ වන විට පන්දු 10 කට මුහුණදී සිටි භානුක රාජපක්ෂ, හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දීමේ උත්සාහයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ඉමාඞ් වසීම්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමිනි. දැවීයන විට ඔහු පන්දු 10 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් ලබා සිටියේය.

පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී නොතිබූ ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයක් වැරදී යෑමෙන් අවිෂ්ක ප්‍රනාන්දු දැවී ගියේය. ශදාබ් ඛාන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවන විට අවිෂ්ක ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.  

----------------------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම තෝරාගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනස්කමකින් තොරව මෙම තරගයටද ක්‍රීඩා කරන අතර පාකිස්තාන කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට සහභාගි වෙයි. එහිදී ඉෆ්තිකාර් අහමඞ් සහ ෆාහීම් අෂ්රෆ් වෙනුවට ෆකාර් සමාන් සහ වහබ් රියාස් පාකිස්තාන කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

 

ශ්‍රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, භානුක රත්නායක, මිනෝද් භානුක, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, කසුන් රාජිත සහ නුවන් ප්‍රදීප්

පාකිස්තාන කණ්ඩායම
සර්ෆරාස් අහමඞ් (නායක), ෆකාන් සමාන්, අහමඞ් ශේෂාඞ්, බාබර් අසාම්, උමාර් අක්මාල්, අසීෆ් අලී, ඉමාඩඞ් වසීම්, ශඩාබ් ඛාන්, වහබ් රියාස්, මොහොමඞ් අමීර් සහ මොහොමඞ් හස්නයින්  

 

- 036


අදහස් (0)

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවේ ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.