Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුපිරි ඕවරයේදී කොළඹට ජය

සුපිරි ඕවරයේදී කොළඹට ජය

editorial - 2020 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර ටස්කර්ස් පිලට එරෙහිව අද (26 වැනිදා) පැවැති පළමු තරගය සුපිරි ඕවයෙන් ජයගැනීමට කොළඹ කිංග්ස් පිල සමත්විය. සුපිරි ඕවරයේදී පළමුව පන්දුවට පහරදුන් කොළඹ කිංග්ස් පිල ලකුණු 16 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස මහනුවර ටස්කර්ස් පිලට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 12 ක් පමණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කිංග්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 219 ක් ලබාගැනීමත් සමගින් කණ්ඩායම් දෙකේ ලකුණු සමාන විය. අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 20 ක් ලබාගැනීමට කොළඹ කිංග්ස් පිලට අවශ්‍යවූ අතර අතිරේක ලකුණක් සමගින් ලකුණු 19 ක් ඉසුරු උදානගේ පිත්තෙන් වාර්තා වූයේය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ දිනේෂ් චන්දිමාල් පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 80 ක් රැස්කර සිටියදී තර්ඞ්මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි නුවන් ප්‍රදීප් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. ලකුණු 5 ක් ලබාසිටියදී නවීන් උල් හක් වෙත ලබාදුන් උඩපන්දුව ගිලිහි යෑම හේතුවෙන් චන්දිමාල්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටිමට වාසනාව උදාවිය.

ලෝරී එවන්ස් සමගින් සාර්ථක ආරම්භයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල සඳහා පන්දු 32 කදී ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ඉන් නොනැවතී තික්‍ෂිල ද සිල්වා සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 43 කදී තවත් ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

නවීන් උල් හක් යවන ලද 13 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී දිනේෂ් චන්දිමාල් සහ තික්‍ෂිල ද සිල්වා දැවීයාමත් සමගින් කොළඹ කිංග්ස් පිලේ ඉනිම කඩා වැටීම ආරම්භ විය.
ඇන්ජලෝ මැතිව්ස්ට සහ අෂාන් ප්‍රියංජන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් හිමිනොවූ අතර සුපිරි පිතිකරු ඔන්ඩි්‍ර රසල් 6 වැනි කඩුල්ල ලෙස ලකුණු 24 කට දැවීයාමත් සමගින් කොළඹ කිංග්ස් පිලේ බලාපොරොත්තු තවත් සුන්වී ගියේය.

නමුත් නොසිතූ ආකාරයෙන් පසුපෙළ පිතිකරුවන්වූ ඉසුරු උදාන සහ කේයිස් අහ්මඞ් පන්දු 17 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොළඹ කිංග්ස් පිලේ බලාපොරොත්තු ඉහළ නැංවූහ. ඉසුරු උදාන පන්දු 12 කදී හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් ලබාගත් අතර කේයිස් අහ්මඞ් පන්දු 8 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 15 ක් ලබාගත්තේය.

මහනුවර ටස්කර්ස් පිලේ නායක කුසල් ජනිත් ඕවර 20 යැවීම සඳහා පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත් අතර නුවන් ප්‍රදීප් සහ නවීන් උල් හක් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් කොළඹ කිංග්ස් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීම සඳහා මහනුවර ටස්කර්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

ආරම්භක පිතිකරුවන්වූ රහ්මනුල්ලා ගුර්බාස් සහ කුසල් ජනිත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පළමු කඩුල්ල සඳහා පන්දු 34 කදී ලකුණු 75 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූහ. එහිදී රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 53 ක් රැස්කිරීමට සමත්විය.

තවත් අනගි ඉනිමක් ක්‍රීඩාකළ නායක කුසල් ජනිත් පෙරේරා පන්දු 52 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 87 ක් රැස්කරමින් මහනුවර ටස්කර්ස් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

කුසල් මෙන්ඩිස් පන්දු 24 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 30 ක් ලබාගත් අතර අසේල ගුණරත්න පන්දු 20 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් ලබාගනිමින් මහනුවර ටස්කර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඉනිම ආරම්භ කරමින් පන්දු යැවීමට පැමිණි නායක ඇන්ජලෝ මැතිව්ස් යැවූ ඕවර 2 තුලදී ලකුණු 26 ක් ලබාගැනීමට මහනුවර පිලේ පිතිකරුවෝ සමත්වූහ. ඕවර 4 ම යැවූ මන්ප්‍රීට් ගෝනි ලකුණු 42 ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 58 ක් දෙමින් පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වූහ.


මහනුවර ටස්කර්ස් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 219
(රහ්මනුල්ලා ගුර්බාස් 53, කුසල් ජනිත් 87, කුසල් මෙන්ඩිස් 30, අසේල ගුණරත්න නොදැවී 33, කේයිස් අහ්මඞ් 28/1, මන්ප්‍රීට් ගෝනි 42/1, දුෂ්මන්ත චමීර 58/1)

කොළඹ කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 219
(දිනේෂ් චන්දිමාල් 80, ලෝරී එවන්ස් 22, තික්‍ෂිල ද සිල්වා 22, ඔන්ඩි්‍ර රසල් 24, ඉසුරු උදාන නොදැවී 34, නුවන් ප්‍රදීප් 34/2, නවීන් උල් හක් 40/2, අසේල ගුණරත්න 49/1, සීකුගේ ප්‍රසන්න 6/1)

 


අදහස් (0)

සුපිරි ඕවරයේදී කොළඹට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.