Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිල ලකුණු 161 කින් කොදෙව් පිල පරාජය කරයි

ශ්‍රී ලංකා පිල ලකුණු 161 කින් කොදෙව් පිල පරාජය කරයි

editorial - 2020 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

අවිෂ්ක ප්‍රනාන්දු (127) සහ කුසල් මෙන්ඩිස් (119) පැවැත්වූ තෙවැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතායෙන් ගොඩනැගුණු දැවැන්ත ඉනිම නිසා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී (දිවා රාත්‍රී) ශ්‍රී ලංකා පිල ලකුණු 161 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී 2-0 කින් ජය ලැබීය. ශ්‍රී ලංකාව 2011 වසරේ සිට කොදෙව් පිලට එරෙහිව සහභාගි වූ තරගාවලි තුනම ජය ලැබීම මෙහිදී කැපී පෙනේ.  

ශ්‍රී ලංකා පිල 1993 වසරේ සිට කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරග 16 කදී ලැබූ 11 වැනි ජය මෙය වන අතර කොදෙව් පිල තරග තුනක් පමණක් ජය ලබා තිබේ. ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර 1975 වසරේ සිට මේ දක්වා එක්දින තරග 59 කදී ශ්‍රී ලංකාව 28 වැනි ජය ලැබීමත් සමඟ දෙපිලේ ජයග්‍රහණ සංඛ්‍යාව සමවිය.   

මෙහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 346 ක ඉලක්කය හඹාගිය කොදෙව් පිල ඕවර 39.1 කදී ලකුණු 184 කට සීමාවිය.

නුවන් ප්‍රදීප් ඉනිමේ 39 වැනි ඕවරයේ පන්දු තුනක් යැවීමෙන් පසුව මාධ්‍ය ගොඩනැගිල්ලේ වම් පස විදුලි කණු දෙකේ සහ ප්‍රධාන ක්‍රීඩාගාරයේ විදුලිය විසංන්ධි විය. දකුණු පස විදුලි කණු දෙකේ විදුලි බුබු`ඵ දැල්වී තිබීම නිසා විදුලිය යථාතත්ත්වයට පත්වන තෙක් ක්‍රීඩකයෝ මිනිත්තු 15 ක් පමණ ක්‍රීඩාංගණයේ රැදී සිටියහ.

විදුලිය විසංධි වන විට කඩුලු අටක් දැවී ලකුණු 184 ක් ලබා සිටි කොදෙව් ඉනිම නැවත තරගය ආරම්භ වී පන්දු හතරකදී අවසන් විය.  

ෆැබියන් ඇලන් ඉදිරියට පැමිණෙමින් ලක්‍ෂාන් සඳකැන් යැවූ ඉනිමේ 38 වැනි ඕවරයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ අතර එය තරගයේ එකම හයේ පහර විය.
 
කොදෙව් පිලේ සිවුවැනි සහ පස්වැනි කඩුලු පන්දු තුනක් තුළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ සම්පූර්ණ පාලනයට නතුකරගැනීමට සමත් වූහ.

වනිඳු හසරංග පළමු පන්දුවේදීම ප්‍රවේගකාරී පිතිකරු කරන් පොලාඞ්ගේ ඉනිම අවසන් කිරීම විශාල වාසියක් බවට පත්විය.

ආරම්භක පිතිකරු ශායි හෝප් පන්දු 65 කින් ලකුණු 51 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු තෙවැනි කඩුල්ලට පන්දු 227 කින් ගොඩනැගූ ලකුණු 239 ක සම්බන්ධතාවයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල දැවැන්ත ශක්තියක් ලැබීය.

කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක හොඳ පන්දුවට ලෝන් ඕන් සහ ඕෆ් කළාපවලින් එක ලකුණ බැගින් එකතු කරමින් මෙම සම්බන්ධතාව ගොඩනැගීම කැපී පෙණිනු අතර පසුව එම දෙපළ කඩුල්ල විවර කර පහර කරා යොමුවූහ.

මෙය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ තුන්වැනි ඉහළතම සම්බන්ධතාව වේ.    

උපුල් තරංග සහ සනත් ජයසූරිය 2006 වසරේ එංගලන්තයට එරෙහිව ගොඩනැගූ ලකුණු 286 ක ද, උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් 2011 වසරේ සිම්බාබ්වේට එරෙහිව ගොඩනැගූ ලකුණු 282 ක ද, සම්බන්ධතා මෙම සම්බන්ධතාවට ඉහළින් තිබේ.  
 
කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක මෙම සම්බන්ධතාවත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී තෙවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාවේ වසර 20 ක් පැරණි වාර්තාව බිඳ දැමීමට සමත් වූහ.

මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන ඉන්දියාවට එරෙහිව සාජාහිදී 2000 වසරේ ලකුණු 226 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.

මෙම සම්බන්ධතාව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළතම සම්බන්ධතාව වේ.

මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන 2001 වසරේදී ලකුණු 187 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් වසර 19 ක කාලයක් එම වාර්තාවට හිමිකම් කීහ.

අවිෂ්ක ප්‍රනාන්දු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 123 කින් ලකුණු 127 රැස්කරමින් සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. අවිෂ්කගේ ඉනිම හතරේ පහර 10 කින් වර්ණවත් විය.

මෙම ශතකය අවිෂ්කගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.

අවිෂ්ක හයේ පහරක් සඳහා කළ උත්සාහයේදී හතරේ සීමාව ආසන්නයේදී රැකගත් උඩපන්දුවකින් දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමට හයේ පහරක් ඇතුළත් නොවීය. හතරේ සීමාව තරමක් දුර වීම හයේ පහර සටහන් නොවීමට ප්‍රධාන හේතුව බවට පත්විය.

කුසල් මෙන්ඩිස් පන්දු 119 කින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 119 ක් රැස්කිරීමට සමත් විය. මෙය කුසල්ගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය වේ.

කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් ලබා සිටියදී ජේසන් හෝල්ඩර් යැවූ ඉනිමේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට පළමු ස්ලියිප්හි පන්දු රැකිමින් සිටි කිරන් පොලාඞ්ට ලබාදුන් පහසු උඩ පන්දුව බිම දැම්මේය. එය රැකගත්තේ නම් තව දුරටත් ශ්‍රී ලංකා පිල පීඩනයට පත්කිරීමේ අවස්ථාව මඟ හැරුණි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර 10 තුළදී කොදෙව් පන්දු රැකීම වඩාත් පහතට වැටී තිබුණු අතර එම කාලය තුළ පහසු උඩ පන්දු කීපයක් ගිලිහුණි.  

කුසල් පෙරේරා පළමු පන්දුවේදීම දැවී යෑමෙන් ලකුණු නවයකට කඩුලු දෙකක් බවට පත්ව ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි.

නායක දිමුත් කරුණාරත්න ලකුණක් පමණක් ලබා සිටියදී තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට එළවා ගොස් පහරක් ගැසීමට ගොස් දැවී ගියේය.

මෙම තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේදී සහභාගි වන 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වන අතර කුසල් පෙරේරාගේ 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගය ද වේ.

පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව මෙම තරගයට ද සහභාගි විය. කොදෙව් පිලේ හේඞ්න් වෝල්ෂ්ගේ ස්ථානයට ෆැබියන් ඇලන් කැඳවා තිබුණි.  

කොදෙව් නායක කරන් පොලාඩ් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන ඉරිදා (1 වැනිදා) පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

 

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 161 කින් කොදෙව් පිල පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.