Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රයිනා ගෙදර යාමෙන් චෙන්නායි පිල අමාරුවේ

රයිනා ගෙදර යාමෙන් චෙන්නායි පිල අමාරුවේ

editorial - 2020 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට සූදානම් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිය ප්‍රධානම පිතිකරු සුරේෂ් රයිනා අහිමි වී තිබේ. “පුද්ගලික හේතු” යයි කියමින් කණ්ඩායමෙන් ඉවත් වූ රයිනා ඩුබායි සිට ආපසු ඉන්දියාව බලා ගොස් සිටී.

චෙන්නායි පිලේ තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත්තේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු මේ වන විටත් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වීමෙනි. මෙම ක්‍රීඩකයන් දෙදෙනා මේ වන විටත් නිරෝධායනය සඳහා යොමුවී ඇති බව මාධ්‍ය වාර්තාවලින් දැක්වේ.

උදාවී තිබෙන තත්ත්වය අනුව අයි. පී. එල්. තරගාවලියේදී තුන් වතාවක් ශූරයන්වූ  චෙන්නායි කණ්ඩායම, 2020 තරගාවලිය ආරම්භ කරමින් සැප්තැම්බර් 19 වනදා පැවැත්වෙන සමාරම්භක තරගයට සහභාගී වේ දැයි සැක පහළ වෙමින් තිබේ.

ඉන්දියාව තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ ප්‍රමාද වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කෙරිණ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දැඩි ලෙස හුදකලා කරනු ලැබ ඇති අතර ඔවුන්ගේ පුහුණුවීම් කුඩා ඒකකයන් තුළ පමණක් පැවැත්වේ.

“සුරේෂ් රයිනා පෞද්ගලික හේතූන් මත නැවත ඉන්දියාවට ගොස් සිටිනවා. ඉතිරි අයි.පී.එල්. තරග සඳහා ඔහු එන්නේ නෑ“ යයි කණ්ඩායමේ ආරංචිමාර්ගයකින් වාර්තා විය.

"චෙන්නායි සුපර් කිංග්ස් මෙම කාලය තුළ සුරේෂ් සහ ඔහුගේ පවුලේ අයට පූර්ණ සහයෝගය ලබා දෙනවා" යයි එම ප්‍රකාශකයා පැවසූවත් කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා වන රයිනා අහිමි වීම චෙන්නායි පිලේ නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිට බරපතළ ප්‍රශ්නයකි.

ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග විසින් තහවුරු කරන ලද කොරෝනා වයිරස් ආසාදන පිළිබඳව මෙම කණ්ඩායම අදහස් දක්වා නොමැත. එහෙත් කොරෝනා වයිරසය ආසාදනය වූ ක්‍රීඩකයන් අතර පන්දු යවන්නකු වන දීපක් චහාර් ද සිටින බව වාර්තා වේ. අනෙක් ක්‍රීඩකයා රයිනා නොවන නමුත් පිතිකරුවෙකි.

චෙන්නායි කඳවුරේ සාමාජිකයන් අතුරින් අවම වශයෙන් තවත් අට දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඩුබායි බලා යාමට පෙර තම නගරයේදී පුහුණුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් කණ්ඩායම දැන් ප්‍රශ්න වලට මුහුණ දී සිටී. ඉන්දියාවේදී පුහුණුවීම් කළ කණ්ඩායම් අටෙන් එකම කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් පිලයි.

පසුගිය වසරේ අවසන් තරඟයේදී චෙන්නායි කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් පිල හමුවේ පරාජයට පත් විය. එහෙත්  සාම්ප්‍රදායික වශයෙන් අවසන් වරට පැවැති තරගාලියේ අවසන් මහ තරගය ක්‍රීඩා කළ කණ්ඩායම් දෙක මෙවර තරඟාවලිය ආරම්භ කරනු ඇත.

නොවැම්බර් 10 දක්වා දිවෙන අයි.පී.එල්. තරගාවලිය සඳහා තවමත් කාලසටහනක් නිකුත් කර නැත.

ලොව ධනවත්ම විස්සයි-20 තරගාවලිය වන අයි.පී.එල්. තරඟාවලිය පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණ. නමුත් කොරෝනා වයිරසය හේතුවෙන් තරගාවලිය දිගින් දිගටම කල්දමනු ලැබීමෙන් පසුව සැප්තැම්බර් 19 වැනිදා ඩුබායි නුවරදී ආරම්භ කිරීමට යොදාගන්නා ලදි.

- 213

 


අදහස් (0)

රයිනා ගෙදර යාමෙන් චෙන්නායි පිල අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.