Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෝනි හමුදා රෙජිමේන්තුවට එක්වෙයි

දෝනි හමුදා රෙජිමේන්තුවට එක්වෙයි

editorial - 2019 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියට තමන් සහභාගි නොවන බවත් එම කාලය අතරතුරදී තමන්ගේ හමුදා රෙජිමේන්තුව වන ඉන්දීය සමස්ත හමුදාවේ පැරෂූට් රෙජිමේන්තුවේ සේවය සඳහා යන බවත් මහේන්ද්‍ර සිං දෝනි අද (සෙනසුරාදා) ප්‍රකාශ කර තිබේ.  ඉන්දීය පිලේ හිටපු නායකයා මෙන්ම මේ වන විට ලෝකයේ සිටින වඩාත්ම ජ්‍යෙෂ්ඨ කඩුලු රකින්නාද වන මහේන්ද්‍ර සිං දෝනි ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර ඇත්තේ මතභේදයකි.

ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය පිලේ අංක 4 පිතිකරුවා වශයෙන් සිටි විජේ ශංකර් තුවාල ලබා තරගාවලියෙන් ඉවත් වීය.  ලෝකේෂ් රාහුල්ට ආරම්භක පිතිකරුවා වීමටත් සිදුවීම හේතුවෙන් කණ්ඩායමේ අංක 4 ස්ථානය බාරගැනීමට මහේන්ද්‍ර සිං දෝනිට සිදුවිය. එහෙත් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජය වූයේ දෝනිගේ දස්කම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බව ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ මතයයි.

නවසීලන්ත පිලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 240 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය පිලේ පළමු ඕවර 3 ඇතුළත, ලකුණු 05 කට කඩුලු 3 ක් බිඳ වැටිණ. ලකුණු සංඛ්‍යාව 92 ක්ව තිබියදී හයවැනි කඩුල්ලත් ඇද වැටිණ. එහෙත් රවීන්ද්‍ර ජදේජා (77) සමග එක්වූ දෝනි (55) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය පිල ජයග්‍රහණය ආසන්නයටම කැඳවාගෙන ආවේය.

ලකුණු 216 දී දෝනි දුවද්දී දැවී යන විට ඉන්දීය පිලට ජයග්‍රහණය සඳහා පන්දු 9 කදී ලකුණු 24 ක් අවශ්‍යව තිබිණ. එහෙත් පසුපෙළ පිතිකරුවන්ට එය ලබාගත නොහැකි විය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ස්ථිර කර සිටියේ ඉන්දීය පැරෂුට් රෙජිමේන්තුවේ ගරු ලුතිනන් කර්නල්වරයා ඉදිරි මාස දෙකක කාලය සිය රෙජිමේන්තුවේ ගතකරන බවයි. කෙසේ වෙතත් දෝනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
“මම කරුණු 3 ක් කියන්න කැමයිති...”

“ඔහු මේ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ නෑ....”

“මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔහු හමුදා රෙජිමේන්තුවේ සේවය කරන්න තීරණය කරලා තියෙනවා”
“ඔහුගේ තීරණය අපි ඉන්දීය නායකයා වන විරාට් කෝලිටත් තේරීම් කමිටු ප්‍රධානියා වන එම්.එස්.කේ. ප්‍රසාද් මහතාටත් දන්වා යවා තිබෙනවා....” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරියා කීවේය.

මේ වන විට 38 හැවිරිදි වියේ සිටින මහේන්ද්‍ර සිං දෝනි එක්දින තරග 350 කට සහභාගි වූ ක්‍රීඩකයෙකි. දැන්ම ක්‍රිකට් පිටියෙන් සමුනොගන්නා ලෙස ඔහුගෙන් ආයාචනා කළ අය අතර හින්දි සිනමාවේ අසහාය පසුබිම් ගායිකාව වන ලතා මංගේෂ්කාර් මහත්මියද වන්නීය.

වසර 2014 දී ටෙස්ට් පිටියෙන් සමුගත් දෝනි 2007 දී විස්සයි-20 ලෝක කුසලාන ජයගත් ඉන්දීය කණ්ඩායමේ මෙන්ම 2011 දී එක්දන ලෝක කුසලාන ජයගත් ඉන්දීය කණ්ඩායමේත් නායකයා විය.

බටහිර ඉන්දීය සංචාරය සඳහා කණ්ඩායම තේරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව හෙට (ඉරිදා) රැස්වීමට නියමිතය. එහිදී ප්‍රධානතම මාතෘකාව වන්නේ එක්දින කණ්ඩායමේ අංක 4 ස්ථානයයි. බටහිර ඉන්දීය සංචාරයේදී ඉන්දීය කණ්ඩායම විස්සයි-20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2  කට සහභාගි වීමට නියමිතය. මෙම සංචාරයේදී තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනකුට අවස්ථාව දීම ඉන්දීය තේරීම් කමිටුවේ අභිප්‍රාය වී තිබේ.

ඉන්දීය ටෙස්ට් පිලේ කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට් විසින් දෝනිගේ ස්ථානය අත්පත් කරගනු ඇතැයි යන්න බහුතර අපේක්‍ෂාවයි. රිෂාබ්ට අමතරව මනීෂ් පාණ්ඬේ, ශ්‍රීයාස් අයියර් සහ ෂුබ්මන් ගිල් ඉන්දීය තේරීම් කමිටුවේ විශේෂ අවධානයට ලක්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.


 - 213

 


අදහස් (0)

දෝනි හමුදා රෙජිමේන්තුවට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.