Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. තරගාවලියේ ඉරණම සෞඛ්‍ය බලධාරීන් අතේ

එල්.පී.එල්. තරගාවලියේ ඉරණම සෞඛ්‍ය බලධාරීන් අතේ

editorial - 2020 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත ‘ලංකා ප්‍රීමියර් ලීග්’ (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමේ අනුමැතිය සහ ඊට අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් හෙට (4 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහෙත් මේ වසරේදී එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමේ අවසන් තීන්දුව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් අත මිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අත නොවන බව තහවුරු කරන ලද ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

මෙම තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් 70 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයෙන් කියැවිණ. ලෝකයේ ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවෝ 10 දෙනෙක්ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.  

කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට ඇතුළු වන සියලුම පුද්ගලයන් අනිවාර්යයෙන්ම දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් විය යුතු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. එබැවින් මෙවැනි තරගාවලියක් සඳහා විදෙස් ක්‍රීඩකයන් සහභාගි කරවාගන්නේ නම් ඔවුන්ද සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිර්දේශයට අනුකූලව දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතුය.

නිරෝධායනයෙන් අනතුරුව, පුහුණුවීම් සඳහා සහභාගි නොවීම, තරගාවලියට ක්‍රීඩා කිරීමට නම් අවම වශයෙන් විදේශීය ක්‍රීඩකයන් මේ මස 13 වැනිදා වන විට දිවයිනට පැමිණිය යුතුව තිබේ. එහෙත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවමත් ඇත්තේ නිල වශයෙන් වසා දැමූ ගමන්ය. සීමිත ගුවන් ගමන් සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙතත් වාණිජ ගුවන් ගමන් සඳහා කටුනායක ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවමත් ප්‍රකාශයට පත්වී නැත.

ඒ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ ඉහළම නිලධාරියකුගෙන් ඊයේ (2 වැනිදා) කළ විමසීමකදී දැනගත හැකිවූයේ කොරෝනා වයිරසයේ බලපෑමට හසුවීමෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 40,000 ක් පමණ දෙනා කොයි මොහොතේදී හෝ සිය මව්බිමට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බවයි. එම ශ්‍රී ලාංකිකයන් නිදහසේ, එකවරම ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඇතිවන සෞඛ්‍ය අවදානම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ විවිධ සීමාකිරීම් පවත්වාගෙන යනු ලබන බවද එම ගුවන්තොටුපොළ උසස් නිලධාරියා පැවසීය.

එල්.පී.එල්. තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය නොකර, පී.සී.ආර්. පරීක්‍ෂණයකින් පසුව ඍජුවම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන බවද ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

“එහෙම සාකච්ඡාවකට තවමත් ඇවිත් නෑ. ඒත් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් තමයි තීරණයක් ගන්න ඕනා..” යයිද එම ගුවන්තොටුපොළ උසස් නිලධාරියා ඊයේ ලංකාදීපට පැවසීය.

“ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දුන් අපේම මිනිසුන් 40,000 කට එක විදිහක කොන්දේසියකුත් ශ්‍රී ලංකාවේදී රැකියාවක් කරමින් මුදල් ඉපයීමට ලෝකයේ විවිධ රටවලින් එන විදේශිකයන්ට තවත් කොන්දේසියකුත් පැනවීම සාධාරණද” යන්න මේ වන විට විවාදාත්මක ප්‍රශ්නයක් වී තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාලියට සහභාගි වන සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයන් 8 දෙනකු, විදේශීය ක්‍රීඩකයන් 6 දෙනකු සහ වයස 19 න් පහළ ක්‍රීඩකයකු ඇතුළත් වීම තරගාවලියේ කොන්දේසියකි. මෙම ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 10,000 ත් 60,000 ත් අතර ගෙවීමක් කිරීමට සංවිධායකයන් බලාපොරොත්තු වන බවත් වාර්තා වේ. එහිදී කණ්ඩායමක සුවිශේෂී තෝරාගැනීම වන ක්‍රීඩකයාට (අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විය යුතුය) ඩොලර් 60,000 ක ගෙවීමක් හිමිවේ. සෙසු ක්‍රීඩකයන්ගේ ගෙවීම් ඩොලර් 50,000 සිට ඩොලර් 10,000 දක්වා ඒ ඒ ක්‍රීඩකයන්ගේ තරාතිරම අනුව වෙනස් වනු ඇත.

කණ්ඩායම් සඳහා දේශීය ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීඩකයන් 79 ක් සහ ක්‍රීඩා සමාජ 24 නියෝජනය කරමින් ඉදිරිපත් කරනු ලබන ක්‍රීඩකයන් 48 ක් (ක්‍රීඩා සමාජයකින් දෙදෙනා බැගින්) සැලකිල්ලට භාජනය කරන බවත් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් මස 20 වැනිදා නිමාවට පත්වීමට නියමිත අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතය. එහෙත් අගෝස්තු 28 වැනිදා මෙම තරගාවලිය ආරම්භ කළ නොහැකි වුවහොත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන වසරට (2021) කල්දැමීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු නොවනු ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රේම් ස්මිත් මහතා එරට මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ ශ්‍රී ලංකා සංචාරය කල් දැමීමට සිදුවී ඇති බවයි. මේ වසර අගදී ඉන්දීය කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේ ටෙස්ට් තරග සංචාරයක නිරත වන අතර බංග්ලාදේශ කණ්ඩායමද ශ්‍රී ලංකාවේදී ටෙස්ට් සහ විස්සයි-20 තරගාවලියකට සහභාගි වීමේ අපේක්‍ෂාවන් පසුවෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීමට නියමිත ඇත්තේ තවත් සති 3 ක පමණ කාලයක් වුවත්, ඊට සහභාගී වන දෙස් විදෙස් ක්‍රීඩකයන් කවුරුන්දැයි යන්න තවමත් හෙළිදරව් කර නැත.

පල්ලෙකැලේ, රංගිරි දඹුල්ල සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. මෙම තරගාවලියේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කලින සූදානම් කර තිබුණ නමුත් එම ක්‍රීඩාංගණයේ මේ වන විටත් අලුත්වැඩියා කටයුතු කෙරෙමින් පවතින බැවින් මෙම තරගාවලිය සඳහා සූදානම් නැතැයි වාර්තාවේ.

-036


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලියේ ඉරණම සෞඛ්‍ය බලධාරීන් අතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.