Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට කඩුලු 7 ක ජයක්

එංගලන්තයට කඩුලු 7 ක ජයක්

editorial - 2021 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජොනී බෙයාර්ස්ටෝ සහ කෝඩුකාරයා වන ඩැනියෙල් ලෝරන්ස් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 62 ක සම්බන්ධතාව නිසා කිසිදු අපහසුතාවකින් තොරවම ඉලක්කය පසුකර ගිය එංගලන්ත ක්‍රීඩකයෝ ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්හ.

ලකුණු 74 ක ඉලක්කයක් කරා යමින් සිටියදී ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳ වැටීමෙන් එංගලන්ත කණ්ඩායම තරමක් සසළ විය. එහෙත් බෙයාර්ස්ටෝ සහ ලෝරන්ස් එක්ව තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් එංගලන්ත කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එංගලන්තයට ප්‍රසාද ලකුණු 60 ක් හිමිවේ.

තරගයේ අවසන් දිනය වූ අද (18 වැනිදා) ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්තයට අවශ්‍ය වුයේ ලකුණු 36 ක් පමණි. බෙයාර්ස්ටෝ සහ ලෝරන්ස් එක්ව ඕවර 10 ක් ඇතුළතදී එය ලබාගත්හ. ඊයේ උදෑසන ඩිල්රුවන් පෙරේරා විසින් යවන ලද ඕවරයකදී ඩැනියෙල් ලෝරන්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමේ අවස්ථාවක් තිබිණ. එහෙත් එම අවස්ථාව විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු නොකිරීම නිසා ලකුණු 9 දී ලෝරන්ස් දවාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට අහිමි විය. ඒ වන විට එංගලන්ත ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට 46 ක් විය.

මෙම ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම එංගලන්තයෙන් පිටතදී, පිට පිටම ලබාගත් සිව්වැනි ටෙස්ට් ජයග්‍රහණයයි. පසුගිය ශීත සෘතුවේදී එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජයගත්තේය. එංගලන්ත කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේදී කළ සංචාරයේදීත් පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජයගත්තේය.

කොරෝනා වසංගතයෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් පිල සහ පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලි දෙකකට සහභාගි වූ එංගලන්තය එහිදී පැවැති ටෙස්ට් තරග 6 කින් තරග 3 ක් ජයගත්තේය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 135

එංගලන්තය - පළමු ඉනිම 421

ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 359

එංගලන්තය - දෙවැනි ඉනිම

සැක් ක්‍රෝලි - ඇ.මෙන්ඩිස් ප.ඇඹුල්දෙණිය    8

ඩොමිනික් සිබ්ලි - ප.ඇඹුල්දෙණිය    2

ජොනී බෙයාර්ස්ටෝ - නොදැවී 35

ජෝ රූට් - දුවද්දී දැවී ගියා 1

ඩැනියෙල් ලෝරන්ස් - නොදැවී 21

අතිරේක    9

එකතුව ඕවර 24.2 කදී කඩුලු 3 ක් දැවී 76

කඩුලු වැටීම :

1-03(සිබ්ලි), 2-12(සැක් ක්‍රෝලි), 3-14(ජෝ රූට්)

පන්දු යැවීම :

ලසිත් ඇඹුල්දෙණිය : 12-3-29-2, ඩිල්රුවන් පෙරේරා : 11.2-2-34-0, වනිඳු හසරංග : 1-0-04-0


තරගයේ වීරයා - ජෝ රූට්


අදහස් (0)

එංගලන්තයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.