Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ලකුණු 28 ක ජයක්

ඉන්දියාවට ලකුණු 28 ක ජයක්

editorial - 2019 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : රොෂාන් ගුණරත්න)

ඕවර 48  - බංග්ලාදේශය 286

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය ලකුණු 28 කින් ජයගත් ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය ස්ථීර කර ගත්තේය. ඒ අනුව ප්‍රසාද ලකුණු 13 ක් ලබා ඇති ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

තවත් තරගයක් ඉතිරිව තිබුණද මෙම තරගයේ පරාජයත් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අතහැර ගැනීමට බංග්ලාදේශයට සිදුවිය.

ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 10 තුලදී බංග්ලාදේශයටලකුණු 90 ක් අවශ්‍යවූ නමුත් කඩුලු 4 ක් අහිමිකරගත් ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 61 ක් පමණි.

-----------------------------------------------------------------------------------------------

සකීබ්ගේ ඉනිම අවසන් වෙයි

ඕවර 40 - බංග්ලාදේශය 225/6

ලකුණු 66 ක් රැස්කර සිටි සකීබ් අල් හසන් දවාගනිමින් තරගයේ වැඩිවාසී ඉන්දීය පිලට ලබාදීමට හර්දික් පාණ්ඩ්‍යා සමත්විය. ඩිනේෂ් කාර්තික් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 74 කට මුහුණදුන් සකීබ්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

තරග 7 කට සහභාගිවී ඇති සකීබ් අල් හසන් මේ වනවිට ලකුණු 542 ක් රැස්කරමින් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය. රෝහිත් ශර්මා ලකුණු 544 ක් රැස්කරමින් පළමු ස්ථානයේ පසුවන්නේය.

අවසන් ඕවර 10 තුලදී ලකුණු 62 ක් ලබාගත් බංග්ලාදේශය කඩුලු 2 ක් අහිමිකර ගත්තේය.

ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ඕවර 10 කදි ලකුණු 90 ක් අවශ්‍යවේ.

-----------------------------------------------------------------------------------------------

සකීබ් ලකුණු 500 සීමාව පසුකරයි

ඕවර 30 - බංග්ලාදේශය 163/4

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලකුණු 500 සීමාව පසුකළ සිවුවැනි පිතිකරුවා බවට පත්වීමට බංග්ලාදේශ කණ්ඩායමේ සකීබ් අල් හසන් සමත්විය. තරග 7 කට සහභාගිවී ඇති සකීබ් අල් හසන් මේ වනවිට ලකුණු 533 ක් රැස්කරමින් ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේය. රෝහිත් ශර්මා ලකුණු 544 ක් රැස්කරමින් පළමු ස්ථානයේ පසුවන්නේය.

තරගාවලියකදී ලකුණු 500 සීමාව පසුකරමින් කඩුලු 10 කට වැඩියෙන් ලබාගත් අවස්ථා 4 ක් වාර්තා වන අතර ග්‍රේග් චැපල්, විවියන් රිචඞ් (අවස්ථා දෙකකදී), සහ සකීබ් අල් හසන් එම අවස්ථාවන්ට හිමිකම් කියති.

පන්දු 58 කදී සිය ජාත්‍යන්තර එක්දින දිවියේ 46 වැනි අර්ධ ශතකය ලබාගැනීමට සකීබ් අල් හසන් සමත්විය.

අවසන් ඕවර 10 තුලදී ලකුණු 59 ක් ලබාගත් බංග්ලාදේශය කඩුලු 2 ක් අහිමිකර ගත්තේය.

ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ඕවර 20 කදි ලකුණු 152 ක් අවශ්‍යවේ.

-----------------------------------------------------------------------------------------------

බංග්ලාදේශයෙන් සාර්ථක ලකුණු රැස්කිරීමක්

ඕවර 20 - බංග්ලාදේශය 104/2

සාර්ථක ලකුණු රැස්කිරිමක නිරතවූ සෞම්‍ය සර්කාර් පිටියෙන් ඉවත් කිරීමට හර්දික් පාණ්ඩ්‍යා සමත්විය. විරාට් කෝලී අතට උඩපන්දුවක් දෙමින් සෞම්‍ය සර්කාර් දැවීයන විට පන්දු 38 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස්කර සිටියේය.

තෙවැනි කඩුල්ල සඳහා එක්වූ සකීබ් අල් හසන් සහ මුෂ්ෆිකූර් රහීම් ලකුණු 30 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සාර්ථක ගමනක නිරත වෙති.

-----------------------------------------------------------------------------------------------

ටමීම් ඉක්බාල් දැවී යයි

ඕවර 10 - බංග්ලාදේශය 40/1

පළමු කඩුල්ල ලෙස ලකුණු 22 ක් රැස්කර සිටි ටමීම් ඉක්බාල් දවාගැනීමට මොහොමඞ් ශාමී සමත්විය. මෙම තරගාවලියේදී මොහොමඞ් ශාමී දවාගත් 14 වැනි කඩුල්ල ලෙස සටහන් විය.

මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවන බංග්ලාදේශය පිතිකරුවෝ කඩුලු ආරක්ෂා කරගනිමින් පිතිහරඹයේ නිරතවෙති.

-----------------------------------------------------------------------------------------------

බංග්ලාදේශයට ලකුණු 315 ක ඉලක්කයක්

ඕවර 50 - ඉන්දියාව 314/9

අවසන් ඕවර 10 තුළදී කඩුලු 5 ක් අහිමිකරගත් ඉන්දියාවට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 63 ක් පමණි.

සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වුවද පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ලකුණු 350 සීමාවෙන් ඔබ්බට යෑමට තිබූ අවස්ථාව මගහැරී ගියේය.

මුස්ටෆීසූර් රහ්මන් සිය ඕවර 10 ලකුණු 59 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගැනිමට සමත්වූ අතර ලෝක කුසලාන තරගාවලියකදී බංග්ලාදේශ පන්දු යවන්නකු යවන ලද පන්දු යැවීම් අතර දෙවැනි හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත් අතරට එක්විය. මෙම තරගාවලියේදිම ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගත් සකීබ් අල් හසන් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 322 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.

------------------------------------------------------------------------------------------------

එකම ඕවරයේදී කෝලී - පාණ්ඩ්‍යා දැවී යති

ඕවර 40 - ඉන්දියාව 251/4

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තරග 5 කදී අර්ධ ශතක ලබාගත් විරාට් කෝලීට අද තරගයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 26 ක් පමණි. 

39 වැනි ඕවරය යැවූ මුස්ටෆීසූර් රහමන් ලකුණු ලබානොදෙමින් එම ඕවරයේදී විරාට් කෝලී සහ හර්දික් පාණ්ඩ්‍යා දවාගැනීමට සමත්විය.

ලකුණු 77 ක් රැස්කර සිටි ලෝකේෂ් රාහුල් දවාගැනීමට රුබෙල් හුසේන් සමත්විය. පන්දු 92 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කරගත් රාහුල් මුෂ්ෆිකූර් රහීම් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

අවසන් ඕවර 10 තුලදී කඩුලු 3 ක් දැවී ගියද ලකුණු 70 ක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවෝ සමත්වූහ.

------------------------------------------------------------------------------------------------

රෝහිත් ශර්මාගෙන් ශතකයක්

ඕවර 30 - ඉන්දියාව 181/1

පන්දු 90 කදී සිය ජාත්‍යන්තර එක්දින දිවියේ 26 වැනි ශතකය ලබාගැනීමට රෝහිත් ශර්මා අද සමත්විය. සෞම්‍ය සර්කාර්ගේ පන්දුවකට ලිටන් දාස් අතට උඩපන්දුවක් දෙමින් රෝහිත් ශර්මා පළමු කඩුල්ල ලෙස ලකුණු 104 කට දැවී ගියේය. 

පළමු කඩුල්ල සඳහා පන්දු 176 කදී ලකුණු 180 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් සමත්වූහ. ලෝක කුසලාන තරගාවලියදී ආරම්භක කඩුල්ල සඳහා ඉන්දියාව වෙනුවෙන් පැවැත්වූ හොඳම සම්බන්ධතාවය ලෙස මෙම සම්බන්ධතාවය වාර්තා පොත් අතරට එක්විය.

ලෝක කුසලාන ඉනිම 15 කදී ශතක 5 ක් ලබා ඇති රෝහිත් ශර්මා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත. සචින් තෙන්ඩුල්කාර් ඉනිම 44 කදී ශතක 6 ක් ලබාගනිමින් පෙරමුණේ පසුවන අතර රිකී පොන්ටින් ඉනිම 42 කදී ශතක 5 ක් සහ කුමාර් සංගක්කාර ඉනිම 35 කදී ශතක 5 ක් ලබාගැනීමට සමත්වී ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 500 සීමාව පසුකළ 3 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට රෝහිත් ශර්මා අද සමත්විය. 7 වැනි තරගයට සහභාගීවන ශර්මා මේ වනවිට ශතක 4 ක් සහ අර්ධ ශතකයක් ලබාගනිමින් ලකුණු 540 ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්විය.

2003 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 673 ක් රැස්කළ සචින් තෙන්ඩුල්කාර් ලෝක කුසලාන තරගාවලියකදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇති පිතිකරුවාය. මේ වනවිට ලකුණු 540 ක් රැස්කරගෙන ඇති රෝහිත් ශර්මා දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

------------------------------------------------------------------------------------------------

රෝහිත්- ලෝකේෂ් අර්ධ ශතක ලබති 

ඕවර 20 - ඉන්දියාව 122/0

රෝහිත් ශර්මා සිය 43 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 45 කදී ලබාගත් අතර ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් ලබාගැනීමට ශර්මා සමත්විය.

රෝහිත් ශර්මාට අනගි සහයක් ලබාදෙමින් අනෙක් අන්තයේ පන්දුවට පහරදෙන ලෝකේෂ් රාහුල් සිවුවැනි එක්දින අර්ධ ශතකය පන්දු 57 කදී ලබාගත්තේය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර මෙවර ලෝක කුසාලන තරගාවලියේදී ඔහු ලබාගත් දෙවැනි අර්ධ ශතකයද වන්නේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය ශතක සම්බන්ධතා පැවැත්වූ තෙවැනි අවස්ථාව වූ අතර ඕස්ට්‍රේලියාව තරග 3 කදී ශතක සම්බන්ධතා පවත්වා ඇත.

-----------------------------------------------------------------------------------

ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්

ඕවර 10 - ඉන්දියාව 69/0

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළමු ඕවර 10 තුළ ඉන්දීය කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද තරගයේදී වාර්තා විය. කඩුල්ලක් ලබානොදුන් ඔවුන් ලකුණු 69 ක් ලබාගැනීමට සමත්වූහ.

රෝහිත් ශර්මා පන්දු 29 කදී ලකුණු 38 ක් සහ ලෝකේෂ් රාහුල් පන්දු 32 කදී ලකුණු 28 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ.

බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවූ අවසන් තරග 5 දී මුල් ඕවර 10 තුලදී කඩුල්ලක් දවාගෙන ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. ඒ කොදෙව් පිලට එරෙහිව ටෝන්ටන් හිදීය.

-----------------------------------------------------------------------------------------------------

ඉන්දියානුවෝ පන්දුවට පහර දෙති 

ප්‍රසාද ලකුණු පුවරුවේ මුල් ස්ථානය සොයමින් සිටින ඉන්දියාව එංගලන්තයේ බර්මිංහැම් නුවරදී අද (2 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත්තේය. 

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාට් කෝලි කිසිම පැකිළීමකින් තොරව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේ විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අරමුණ ඇතිවය. තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් තුවාල ලැබීම නිසා තරගාවලියෙන් ඉවත්ව සිටින අතර අද තරගයේදී ශංකර්ගේ ස්ථානය දිනේෂ් කාර්තික්ට හිමිව තිබේ.   

 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 28 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.