Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 225 ක් වුණත් එළවන්න පුළුවන්

225 ක් වුණත් එළවන්න පුළුවන්

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයගැනීමේ වාර්තා කෙසේ සටහන් වී තිබුණද නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමේ හැකියාව වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතැයි නිරෝෂන් දික්වැල්ල කියයි.

“ලකුණු 225 ක විතර ඉලක්කයක් ලැබුණත් ඒක හඹා යන්න අපට පුළුවන්. මේ තණතීරුවේ සිව්වැනි වතාවේ පන්දුවට පහර දෙන එක අභියෝගයක් තමයි. ඒත් අපේ පිතිකරුවන්ට ඒ දේ කරන්න පුළුවන්”

“වාර්තා කියන්නේ පැරණි කණ්ඩායම් කරපු දේවල්. ඒත් මේක වෙනස් කණ්ඩායමක්. වෙනස් ප්‍රතිවාදීන්..අපට තියෙන්නේ පවතින තත්ත්වය අනුව එන දේට මුහුණ දෙන එකයි” යයි තරගයේ තුන්වැනි දිනය අවසානයේදී නිරෝෂන් දික්වැල්ල පැවසීය.

ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් සිව්වැනි ඉනිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 99 කි. 2014 දී පාකිස්තානු පිලට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 99 ක් ලබා ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහෙත් සිව්වැනි ඉනිමට මුහුණ දීමේ අභියෝගය ශ්‍රී ලංකා පිල හමුවේ තිබියදී නවසීලන්ත පිල මේ වන විටත් ලකුණු 177 ක් ඉදිරියෙන් සිටී. තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබේ.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 60 කි.

“මේ තණතීරුව සෑහෙන්න මන්දගාමී තමයි. දඟ කැවීමත් එහෙමයි. සාමාන්‍යයෙන් අපි ගාල්ලේදී දකින කඩුල්ලක්. හතර වැනි ඉනිමේදී පන්දුවට පහර දෙන එක අමාරුයි....ඒ නිසා හෙට උදේම ඔවුන්ගේ කඩුලු ටික පුළුවන් තරම් ඉක්මනින් දවාගෙන අපි පන්දුවට පහර දෙන්න ඕනේ...මට විශ්වාසයක් තියෙනවා අපේ පිතිකරුවන්ට ඒ දේ කරන්න පුළුවන් කියලා”

“ලකුණු 160 කට කඩුලු 7 ක් වැටිලා අපි බරපතළ අමාරුවක වැටිලයි හිටියේ. ඒත් සුරංගත් එක්ක ඉනිම ගොඩනැඟීමේ වගකීම මට තිබුණා. ඒ එක්කම සුරංගව ආරක්‍ෂා කරගනිමින් මම ලකුණු ලබාගන්නත් ඕනා. කොහොම හරි අපි ඒ දේ කළා...... සුරංග උදේ දැවී ගියේ නැත්නම් තව ටිකක් වාසිය අරගන්නවා...” යයිද දික්වැල්ල පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයාව සිටියද ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති තරගාවලි කිහිපයකදීම දැඩි ලෙසින් අසාර්ථක වීම නිසා දික්වැල්ලට ලෝක කුසලාන කණ්ඩායමේ අවස්ථාවක් නොලැබිණ.

“ලෝක කුසලාන තරගාවලියට තේරිච්ච නැති එක අතීතයේ සිදුවීමක්. මම ඒ ගැන තවදුරටත් හිතන්නේ නෑ. ඒ ගැන කොහොමටවත් හිතන්නේ නෑ...ඇරත් තව සෑහෙන කාලයක් යනකම් අපට එක්දින තරග නෑනේ.....විස්සයි20 තරග නම් තියෙනවා...මට අවස්ථාව ලැබුණොත් මම ඒවායෙදි දස්කම් පෙන්නලා මගේ තැන හදාගන්නවා” යයි මේ වන විට වඩාත් පරිණත ක්‍රීඩකයකුගේ තත්ත්වයට පත්ව සිටින දික්වැල්ල පැවසීය.

ලෝකයේ බොහෝ විශිෂ්ට ක්‍රීඩකයන් මෙන් දික්වැල්ලද සෑහෙන තරමේ හිතුවක්කාරයෙකි. එහෙත් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් කර තැබීම හේතුවෙන් ඔහු බොහෝ දේ වටහා ගත්තේය.

ලෝක කුසලාන තරගාවලියට නොතේරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසුව මාස දෙකක විවේකයක්ද දික්වැල්ලට ලැබිණ. ඒ කාලයේදී තමන්ගේ පිතිකරු තාක්‍ෂණය මෙන්ම ශරීරික යෝග්‍යතාව ගැනත් විශේෂ උනන්දුවක් දැක්වූ කඩුලු රකින්නා පසුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග ඉන්දියාවේදී ක්‍රීඩා කරමින් හොඳ දස්කම් පෙන්වීය. එම තරගාවලියේදී තමන්ගේ තරම පෙන්වීමේ තදබල ආශාවක් ද ඔහුට තිබිණ.

“මම මගේ වැරදි තේරුම් ගත්තා. සමහර දේවල් වෙනස්කර ගත්තා. මට දැන් හිතෙනවා මම දැන් ඉස්සරට වඩා හොඳයි කියලා”

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා වශයෙන් දික්වැල්ලට තරග කිරීමට සිදුව තිබෙන්නේ දිනේෂ් චන්දිමාල් සමග පමණක් නොවේ. කුසල් පෙරේරාත් කඩුලු රකින්නකු වන හෙයින් දික්වැල්ල ඉදිරියේ ඇත්තේ තියුණු තරගයකි. ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සහ 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන පීඩනයද සුළුපටු නොවේ.

දික්වැල්ල තමන්ගේ හුරු පුරුදු හෝ පුහුණුවීම් ගැන කතා කිරීමට තරමක අකමැත්තක් දක්වයි. එහෙත් ඔහු තමන් කෙරේ විශ්වාසයකින් පසුවෙයි.

“ඒ ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි...මැද්දෙදි දස්කම් පෙන්වූවාම ඒවා මම ගැන කතා කරාවි” යයි ඔහු කීවේය.

තමන්ගේ සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹය අමතක කළ දික්වැල්ල සහායක පිතිකරුවා වූ සුරංග ලක්මාල්වත් ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහර දුන්නේ ඕවර 28.5 කදී 8 වැන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනඟමිනි. ලක්මාල් දැවී ගිය පසුව ලසිත් ඇඹුල්දෙණිය සමග 9 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 20 ක් එකතු කළ දික්වැල්ල 9 වැනි කඩුල්ලේ ලකුණු 20 තනිවම ලබාගත්තේය.

නවසීලන්ත පන්දු යවන්නන්ට මුහුණදීමට ලසිත් ඇඹුල්දෙණියට අවස්ථාව නොදුන් දික්වැල්ල තනිලකුණු ලබානොගෙන ද්විත්ව ලකුණු ලබාගැනීමට සහ 4පහර ගැසීමට උත්සුක විය. මේ අවස්ථාවේදී දික්වැල්ල ගැසූ පහරකින් ඇදීගිය පන්දුව එක්ස්ට්‍රා කවර්ස්හි සිටි කේන් විලියම්සන් උඩපන්දුවක් ලෙස රැකගන්නා විට ශ්‍රී ලංකා පිලට ලකුණු 13ක මුල් ඉනිමේ වාසියක් තිබිණි.

ඡායාරූපය - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

225 ක් වුණත් එළවන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.