Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2011 ලෝක කුසලාන පාවාදීමේ විමර්ශන නවතී

2011 ලෝක කුසලාන පාවාදීමේ විමර්ශන නවතී

යොහාන් භාසුර - 2020 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ  පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඊයේ (03 වැනිදා) ‘ලංකාදීප’යට එසේ පැවසීය.

“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලේකම්තුමාට වාර්තාවක් යවනවා” යැයි ෆොන්සේකා මහතා පැවසීය.
ක්‍රීඩා වැරදී පිළිබඳව විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලුම නිලධාරීන්ගේ සභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වා විමර්ශනය අවසන් කරන්න තීරණය කළා යැයි ද ෆොන්සේකා මහතා පැවසීය.
 
සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක සිද්ධියක් බවට පත්වීමට ඉඩඇති බවත් ඒ හේතුවෙන් මෙම පරීක්‍ෂණය විශාල ප්‍රශ්නයක් වියහැකි බැවින් එය නතර කිරීමට පියවර ගත් බවත් ෆොන්සේකා මහතා පැවසීය.

“පොලිස් විශේෂ විමර්ශන විසින් ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නොමැති බවට අපිට තේරුම් ගියා. අන්තර්ජාතික ක්‍රිකට් සභාවට (අයි.සී.සී.) ලිපි යොමුකළ බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් අයි.සී.සී. ප්‍රතිචාර දක්වා නොමැති වීම සහ අයි.සී.සී. පරීක්‍ෂණයක් නොකිරීම හේතුවෙන් මෙම පරීක්‍ෂණය ඉදිරියට ගෙන නොහැකි තත්ත්වයත් නිර්මාණය වෙලා තියෙනවා” යයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෆොන්සේකා මහතා පැවසීය.

මෙම පරීක්‍ෂණය සම්බන්ධයෙන් කටඋත්තර දුන් අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ උපුල් තරංග යන තිදෙනාම සාධාරණ හේතු ඉදිරිපත්කර තිබීමත්, කණ්ඩායමේ ක්‍රීඩකයන් මාරු කිරීමට පැහැදිළි හේතු ඉදිරිපත් කිරීමත්, මෙම සිද්ධිය 2011 වසරේ සිද්ධියක් වීමත් නිසා විමර්ශනය අවසන් කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (03 වැනිදා) පෙරවරුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් දීමෙන් තොරව පිටව ගියේය. මහේල මහතාට විශේෂ විමර්ශන ඒකකය පෙර දින රාත්‍රී ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන බව දැනුම්දී තිබියදීත්  මහේල ජයවර්ධන මහතා විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ සිටියේය.

එම ඒකකයෙන් පිටතට පැමිණි මහේල ජයවර්ධන මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.   

“මෙම විමර්ශන ඒකකය මගේ නීතිඥාවරු හරහා දැනුම්දී තිබුණා අද දවසේ මට පැමිණෙන්න කියලා. ඒත් 2 වැනිදා රාත්‍රී 11.30 ට පමණ මට ඔවුන් දැනුම් දුන්නා අද එන්න එපා වෙන දිනයක් දෙන්නන් කියලා”

“නමුත් අද උදෑසැන මම දැක්කා සමහර මාධ්‍යවල ප්‍රචාරය වෙනවා මම දැනුම් දුන්නා කියලා පෞද්ගලික හේතුවක් නිසා එන්නේ නෑ කියලා. ඒ නිසා මම හිතුවා මේ තත්ත්වයට යම්කිසි විදියක සාධාරණයක් කළ යුතුයි කියලා. ඒ නිසයි මම ඔවුන්ටත් දැනුම් දීලා මෙතනට ආවේ”

“මම කොයිම වෙලාවකවත් එන්න බෑ කිව්වෙ නෑ. මම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම මටත් වගකීමක් තියෙනවා ඔවුන්ට අවශ්‍ය කරන තෙරතුරු දෙන්න. ඔවුන් මට කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ. වෙනත් දිනයක් දැනුම් දෙන්නන් කියලා”
“මම කාරුණික ඉල්ලා සිටිනවා මම නොකළ මාධ්‍ය නිවේදන වැරදි විදියට ප්‍රචාරය කරන්න එපා කියලා”

“අපි ගරු කරන ක්‍රීඩාවක් මේක.... මට වගකීමක් තියෙනවා මේ ක්‍රීඩාව ඉදිරියටත් හරි විදියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න පසුබිම සකස් කරන්න. ඒ වගේම අපි සහයෝගය ලබාදෙනවා ඒ පරීක්‍ෂණ කටයුතු කරන මහත්වරුන්ට. ඔවුන් ඉතාමත් හොඳ සේවයක් කරනවා. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා” යැයි මහේල ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පවාදුන් බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය මස 18 වැනිදා විද්‍යුත් මාධ්‍යයකට පවසා තිබුණි. එම ප්‍රකාශයෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා එම ප්‍රකාශය පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව දැනුම් දුන්නේය.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය නාවලපිටියට ගොස් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් අතර ඉන් අනතුරුව කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන (ක්‍රීඩා) ඒකකයට පැමිණෙන ලෙස අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර යන හිටපු ක්‍රීඩකයන්ට දැනුම් දෙන ලදි. ඔවුන් තිදෙනාම දැනුම් දුන් පරිදි එහි ගිය අතර ඔවුන්ගෙන් පිට පිටම දින තුනකදී ප්‍රකාශ සටහන් කරගන්නා ලදි.

 

(ඡායාරූපය - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි)

 


අදහස් (0)

2011 ලෝක කුසලාන පාවාදීමේ විමර්ශන නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.