Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හත් වැනි ක්‍රීඩකයා තේරීම අභියෝගයක්

හත් වැනි ක්‍රීඩකයා තේරීම අභියෝගයක්

ශානුක අරවින්ද - 2020 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (22 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 වැනි ස්ථානය සඳහා ක්‍රීඩකයකු තෝරාගැනීම අභියෝගයක් වී ඇතැයි පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. පිතිකරු ලයිස්තුවේ 7 වැනි ස්ථානය සඳහා ක්‍රීඩකයකු තෝරාගැනීම පදනම් වන්නේ වේග පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරනවාද, නැතහොත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරනවාද යන්න මතයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු සහ දඟ පන්දු යවන්නකු සමග තරගයට පිවිසෙන්නේ නම් ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර අතරින් දෙදෙනෙකු සමග තිසර පෙරේරා කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ. පළපුරුදු ක්‍රීඩකයකු වන තිසර හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවීමට වැඩි හැකියාවක් ඇති පිතිකරුවකු ලෙසින් සැලකෙතත් හෙට තරගයේදී ඔහුට පන්දු යැවීමේ වැඩි වගකීමක් පැවරේ. 

එක්දින තරග 161 කට මෙන්ම ලෝක කුසලාන තරගාවලි තුනකට (2011, 2015 සහ 2019) සහභාගි වූ පළපුරුදු ක්‍රීඩකයකු වුවද සිය අවසන් එක්දින තරග 10 දී තිසර පෙරේරා පිතිකරුවකු ලෙසින් ලබා ඇත්තේ ලකුණු 77 ක් පමණි. අවසන් එක්දින තරග 10 දී තිසර පෙරේරාගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 12, 2, 0, 27, 2, 7, 2, 21, 2 සහ 2 ක් වශයෙනි. 

කෙසේ වෙතත් හෙට තරගය සඳහා අවසන් 12 දෙනා නම් කිරීමේදී දසුන් ශානකටත්, ෂෙහාන් ජයසූරිය සහ නිරෝෂන් දික්වැල්ලට සිය ස්ථානය අහිමි වී ඇති බව පුහුණුකරු මිකී ආතර් මහතා කියයි. 

“වේග පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කරනවා නම් තිසරට පන්දු යවනකුගේ වගකීම බාරගන්න වෙනවා. මේ වන විට අපේ දඟ පන්දු යවන්නන් දෙදෙනාත් ඉතාමත් හොඳ තත්වයක ඉන්න නිසා දැන්ම අපිට පන්දු යවන්නන්ගේ සංයුතිය ගැන කියන්න අපහසුයි” යැයි ආතර් මහතා කියා සිටියේය. 

කෙදෙව් පිතිකරුවන් කවදත් දඟ පන්දු යවන්නන් හමුවේ අසීරුතාවට පත්වන හෙයින් දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමග ක්‍රීඩා කිරීම සාර්ථක උපක්‍රමයක් විය හැකිය. එබැවින් වනිඳු හසරංගට මෙන්ම ලක්ෂාන් සඳකැන්ටද කණ්ඩායමේ ඉඩ තිබේ. ඇරත් ධනංජය ද සිල්වාටත් පන්දු යැවීමේ හැකියාව තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වැඩි වෙනසක් සිදු නොවනු ඇත. නායක දිමුත් කරුණාරත්න සමගින් අවිෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට සූදානමින් සිටිති. කුසල් පෙරේරා අංක 3 පිතිකරු ලෙස කටයුතු කරන අතර කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජයද සිල්වා පිතිකරු ලයිස්තුවේ අනුපිළිවෙලින් එති. 

“අවිෂ්ක සහ කුසල් ජනිත් ප්‍රහාරාත්මක ඕවර වලදී ඉතාමත් හොඳින් පන්දුවට පහරදෙනවා. ඒ නිසා හෙට දිනයේදීත් දිමුත් සමගන් අවිෂ්ක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරාවි. කුසල් ජනිත් තෙවැනි පිතිකරුවා ලෙස කටයුතු කරාවි. මෙන්ඩිස්ට, මැතිව්ස්ට සහ ධනංජයට තියෙන්නෙ ඕවර 11 සිට 40 දක්වා තරගය පාලනය කරගැනීමයි. සාර්ථක ලෙස ඉනිම අවසන් කිරීම තිසර සහ වනිඳු වැනි තුන් ඉරියව් ක්‍රීඩකයන්ට බාරයි.” යැයිද ආතර් මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවේ තණතිලිවල ක්‍රීඩා කිරීමේදී දඟ පන්දු යවන්නන්ට වඩාත් වාසි දායක වුවත් තමන්ගේ වේග පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවන බව නායක කිරන් පොලාඞ් පැවසීය. එබැවින් හෙට තරගයේදී වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමගින් තරගයට පිවිසීමට වැඩි ඉඩක් පවතින බවද හෙතෙම පැවසීය.  

පුහුණු තරග දෙකේදී සිය දඟ පන්දු යවන්නන්ද කඩුලු අතරට පිවිසි බව සඳහන් කිරීමට අමතක නොකළ පොලාඞ්, දෙවැනි පුහුණු තරගයේදී රොස්ටන් චේස් දඟ පන්දු යවන්නකු මෙන්ම පිතිකරුවකු ලෙසද දස්කම් දැක්වීම කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් බව කියා සිටියේය. 

අවසන් වරට පාකිස්තානයේදී පැවැති එක්දින තරගාවලියට සහභාගි නොවූ ක්‍රීඩකයන් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියද, ඔවුන් මාස තුනකට ආසන්න කාලයක් එක්දින ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වී නොතිබීම තම කණ්ඩායමට වාසි දායක බවද පොලාඞ් පැවසීය. 

“ශ්‍රී ලංකාව අවසන් වරට පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගාවලියේදී කණ්ඩායමට ඇතුළත් වෙලා හිටපු ක්‍රීඩකයන් රැසක් මේ තරගාවලියේදි කණ්ඩායමෙන් ඉවතට විසිවෙලා. ඔවුන් වෙනුවට පරණ ක්‍රීඩකයන් නැවතත් කණ්ඩායමට එක්වෙලා ඉන්නවා. නමුත් ඒ ක්‍රීඩකයන් මාස ගානකින් එක්දින තරගයක් ක්‍රීඩා කරලා නෑ. ඒක අපිට වාසියක් වෙයි කියලා මම හිතනවා.” යැයි ද පොලාඞ් පැවසීය. 

මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය නවීකරණය කෙරෙමින් පවතින බැවින් මෙම තරගය එස්.එස්.සී. පිටියට ගෙනැවිත් තිබේ. තරගය පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය. 

ශ්‍රී ලංකා සංචිතය : 
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර 

කොදෙව් සංචිතය : 
කිරන් පොලාඞ් (නායක), ශායි හෝප්, ෆැබියන් ඇලන්, සුනිල් ඇම්බි්‍රස්, ඩැරන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ශෙල්ඩන් කොට්‍රල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝෂප්, බ්‍රැන්ඩන් කිං, කීමෝ පොල්, නිකලස් පූරන්, රෝමන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඞ් සහ හේඞ්න් වෝල්ෂ් 

 


අදහස් (0)

හත් වැනි ක්‍රීඩකයා තේරීම අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.