Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටෝක්ස්ගේ ශතකය රාජස්ථාන් පිලට ‍ජය ගෙනෙයි

ස්ටෝක්ස්ගේ ශතකය රාජස්ථාන් පිලට ‍ජය ගෙනෙයි

editorial - 2020 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙන් ස්ටෝක්ගේ ප්‍රවේගකාරී ශතකය හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඉරිදා (25 වැනිදා) අබුඩාබිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන්‍ රෝයල්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයෙන් පරාජයට පත්වුවද, තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටීමට මුම්බායි කණ්ඩායමට අවස්ථාව හිමි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 44 ක් වන විට බිඳහෙළීමට ජේම්ස් පැටින්සන් සමත් විය. කෙසේ වුවත් එතැන් පටන් සංජු සැම්සන් (නොදැවී 54) සමග එක්වූ බෙන් ස්ටෝක්ස් (නොදැවී 107) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 152 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

එහිදී පන්දු 60 කින් මෙවර අයි.පී.එල්. තරගාවලියේ සිය පළමු ශතකය ලබාගත් ස්ටෝක්ස්, එය හයේ පහර 3 කින් සහ හතරේ පහර 14 කින් සැරසුවේය. පන්දු 31 කදී වාර්තා වූ සැම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් අන්තරගත විය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී මේ දක්වා වාර්තා වී ඇති ශතක ගණන 5 කි. ‍ස්ටෝක්ස්ට පෙර ශිකර් ධවාන් (106 සහ 101) පිට පිට ශතක දෙකක්ද, ලොකේෂ් රාහුල් (132) සහ මායන්ක් අගර්වාල් (106) ශතකය බැගින්ද ලබාගත්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් ලබාගැනීමට හර්දීක් පාණ්ඩ්‍යා සමත් විය. පන්දු 21 කට මුහුණදුන් පාණ්ඩ්‍යා හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළේය. සූර්යකුමාර් යාදව් පන්දු 26 කදී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

‍‍‍‍මේ අතර ඉරිදා පැවැති තවත් තරගයකදී බැංගලෝර් රෝයල් චැ‍ලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් විය. දක්ෂ පිතිහරඹයක නිරත වූ 23 හැවිරිදි රුතුරාජ් ගයික්වාඩ් පන්දු 51 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

තරගයෙන් ජයගත් නමුත් චෙන්නායි පිලට තවමත් හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

 

රාජස්ථාන් පිලට කඩුලු 8 ක ජයක්

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 5 කට 195

(ඉෂාන් කිෂාන් 37, සූර්යකුමාර් යාදව් 40, සෞරබ් තිවාරි 34, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 60, ශ්‍රෙයාස් ‍ගෝපාල් 30/2, ජොෆ්රා ආචර් 31/2)

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 2 කට 196

(බෙන් ස්ටෝක්ස් නොදැවී 107, සංජු සැම්සන් නොදැවී 54, ජේම්ස් පැටින්සන් 40/2)


චෙන්නායි පිලට කඩුලු 8 ක ජයක්

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 145

(දෙව්දූත් පඩික්කල් 22, ඒරන් ෆින්ච් 15, විරාට් කෝලි 50, ඒ.බී. ඩිවිලියර්ස් 39, සෑම් කරන් 19/3, දීපක් චාහර් 31/2)

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 18.4 කදී කඩුලු 2 කට 150

(රුතුරාජ් ගයික්වාඩ් නොදැවී 65, ෆෆ් ඩුප්ලෙසි 25, අම්බටි රයිඩු 39, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 19)


-036


අදහස් (0)

ස්ටෝක්ස්ගේ ශතකය රාජස්ථාන් පිලට ‍ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.