Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංචිතයේ සියලු දෙනාටම අවස්ථාව

සංචිතයේ සියලු දෙනාටම අවස්ථාව

යොහාන් භාසුර - 2020 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබන සෙනසුරාදා ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ සිටින සියලු ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න පවසයි. කොදෙව් පිලට එරෙහිව එක්දින සහ විස්සයි20 තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අපේ අවසන් එක්දින තරගාවලිය පාකිස්තානු තරගාවලියයි. එම තරගාවලියට මම සහභාගි වුණේ නෑ. අපි සියලු දෙනාම අවසන් වරට සහභාගි වුණේ බංග්ලාදේශ තරගාවලියටයි. නැවතත් සියලුම ක්‍රිඩකයන් එකතු වීම ලොකු ශක්තියක්”

“මෙම තරගාවලියට 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරලා තියෙනවා. ඒ සංචිතයේ සියලුම ක්‍රීඩකයන්ට මාරුවෙන් මාරුවට අවස්ථාව දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ”

“අවාසනාවකට ධනුෂ්ක ආබාධයකට ලක්වුණා. දික්වැල්ල පළමු තරගයේ සිට ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්නවා. මම අවිෂ්ක ප්‍රනාන්දු සමඟ ඉනිම ආරම්භ කරන්න තමයි සැළසුම් කරලා තියෙන්නේ” යැයි දිමුත් වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග පැවසුවේ ඉදිරියේ පැවැත්වෙන විස්සයි20 තරග ක්‍රීඩකයන්ගේ විශ්වාසය ගොඩනැගීමට අවස්ථාව කරගත යුතු බවයි.

“මම විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය බාරගන්නා විට අපි හිටියේ ශ්‍රේණිගත කිරීමේ නවවැනි තැන. මාව නායකත්වයෙන් ඉවත්කරනවද? නැද්ද? කියන එක මට ප්‍රශ්නයක් නොවෙයි. අපේ විස්සයි20 කණ්ඩායමට මගෙන් මොනව හරි ඕනනන් එක දෙන්න මම සූදානම්”

“ලෝක කුසලාන තරගාවලියට තවත් මාස අටක් පමණ තියෙනවා. ඊට පෙර අපිට තවත් තරග අඩු සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ තරගවලදී ක්‍රීඩකයන්ට විශ්වාසය ඇති කිරීම වඩාත් වැදගත් වෙනවා...කොදෙව් පිලට එරෙහිව විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම එම තරගාවලිය ජය ලැබීමට හොඳ අවස්ථාවක්” යැයිද මාලිංග වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පැවසුවේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සඳහා සූදානම් වීමට මෙම තරගවලදී සිදුවන සියලුම දේ වඩාත් වැදගත් බවයි.   
කොදෙව් පිලේ නායක ප්‍රවේගකාරී පිතිකරු කිරන් පොලාඞ් පැවසුවේ තම කණ්ඩායම ඉහළ ආත්මවිශ්වාසයකින් මෙම තරගාවලියට සහභාගි වන බවයි.   

“අපි කලින්ම ලංකාවට ආවා. දැන් පවතින උෂ්ණත්වයට හුරුවෙමින් ඉන්නවා. පුහුණු තරගයකටත් සහභාගි වුණා. පුහුණු සැසි කීපයකටත් සහභාගි වුණා. ශ්‍රී ලංකාවට අපි කැමතියි”

“පසුගිය මාස කීපයේ ක්‍රීඩා කළ ආකාරය සහ අවසන් ඉන්දීය සංචාරයේ ප්‍රදර්ශනය කළ දස්කම් සමගින් අපේ කණ්ඩායම හොඳ ආත්මවිශ්වාසයකින් ඉන්නවා” යැයිද පොලාඞ් වැඩි දුරටත් අදහස් දැක්වීය.

කොදෙව් පිලේ පුහුණුකරු පිල් සිමන්ස් මහතා තම කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“පසුගිය මාස තුන ඇතුළත අපේ එක්දින සහ විස්සයි20 කණ්ඩායම් හොඳ දියුණුවක් පෙන්නනලා තියෙනවා. පසුගිය ඉන්දීය තරගාවලිය අපි පරාජයට පත්වුවද අපි එහිදී ඉතාමත් හොඳ දියුණුවක් ප්‍රදර්ශනය කළා වගේම හොඳින් ක්‍රීඩා කළා. මෙම තරගාවලිය පිළිබඳවත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා”

මෙම මාධ්‍ය හමුවට එන්.ඩී.බී. බැංකුවේ සභාපති කාවන් රත්නායක සහ එහි අධක්‍ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න යන මහත්වරුද සහභාගි වූහ. ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අනිද්දා (22) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ.

තරගාවලියේ ශූරයන්ට එන්.ඩී.බී. කුසලාන පිරිනැමේ.

ඡායාරූප: ළහිරු හර්ෂණ  


අදහස් (0)

සංචිතයේ සියලු දෙනාටම අවස්ථාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.