Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට්ගේ ආගමනය ගැන එංගලන්තය සිහින දකී

රූට්ගේ ආගමනය ගැන එංගලන්තය සිහින දකී

editorial - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැන්චෙස්ටර් නුවර ඕල්ඩ්ට්‍රැෆර්ඩ්හිදී ක්‍රීඩාංගණයේදී හෙට (16 වැනිදා) ආරම්භ වන එංගලන්ත - කොදෙව් දෙවන ටෙස්ට් තරගයේදී එංගලන්තයේ නිත්‍ය නායක ජෝ රූට්ගේ පැමිණීම ආශිර්වාදයක් වනු ඇතැයි යන්න එංගලන්තයේ එකම බලාපොරොත්තුවයි. මේ වන විටත් තරගාවලියේ 0-1 ක් ලෙසින් පසුපසින් සිටින එංගලන්තය තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට නම් හෙට තරගය ජයගත යුතුව තිබේ. නැතහොත් අඩුතරමේ තරගය පරාජය නොවී සිටිය යුතුය.

කොරෝනා වසංගතයෙන් පසුව ටෙස්ට් තරග ආරම්භ කරමින් සදම්ප්ටන්හිදී පසුගිය සතියේ පැවැති තරගයෙන් කොදෙව්වෝ කඩුලු 4 ක ජයක් ලබාගත්හ. එහෙත් එම තරගයේදී ජෝ රූට් ක්‍රීඩා නොකළ අතර බෙන් ස්ටෝක්ස් තාවකාලික නායකයා විය.

කෙසේ වෙතත් අද තරගයේදී නිත්‍ය නායක ජෝ රූට්ට කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීම  සඳහා ජෝ ඩෙන්ලිට ඉවතට යාමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

සදම්ප්ටන් තරගයේදී ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉවත් කිරීමට ගත් තීරණය මතභේදාත්මක වූ අතර ජෝ ඩෙන්ලි සදම්ප්ටන් තරගයේදී දෙවරක් දැවී ගියේ දුර්වල පහර දෙකකිනි. අනෙක් පිතිකරු සැක් ක්‍රෝලි දෙවන ඉනිමේදී ලකුණු 76 ක් රැස් කළේය.

යම් හෙයකින් අද ඇරඹෙන තරගය ජයගැනීමට කොදෙව් පිල සමත් වුහහොත් වසර 32 කට පසුව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට සමත්වන පළමු වැනි කොදෙව් කණ්ඩායම ලෙස ජේසන් හෝල්ඩර්ගේ කණ්ඩායම ඉතිහාස ගතවනු ඇත.

එංගලන්තයට ඇත්තේද එතරම් හොඳ ආරම්භක වාර්තාවක් නොවේ. 2017/18 අළු බඳුන තරගාවලියේ සිට මේ දක්වා පැවැති තරගාවලි 10 කින් 8 කදීම එංගලන්තය ආරම්භක තරගය පරාජය වී තිබේ. දැන් ඇත්තේ පළමු තරගය පරාජය වීමෙන් පසුව තරග 3 කින් සමන්විත තරගාවලිය ජයගන්නවාද නැතිනම් බේරා ගන්නවාද යන අභියෝගයයි.

එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවසුවේ “ජෝ හොඳට ක්‍රීඩා කරනවා දැකීමට අපි හැමෝම පුල පුලා බලා සිටියා. ඒත් පැහැදිලිවම ඔහු ටිකක් පීඩනයට ලක්වෙලා තමයි හිටියේ“

"ඒත් සැක් නිරන්තරයෙන් දියුණු වෙමින් ඉන්නවා. මම හිතන්නේ ඔහු නිසැකවම පරිණත බවක් පෙන්නුම් කරමින් ඉන්නවා. ඔහු ක්‍රීඩා කළ ඉනිම ඉතා හොඳයි." යයිද සිල්වර්වුඩ් මහතා පැවසීය. පසුගිය කාලයේදී පිතිකරුවකු ලෙසින්ද අසාර්ථක වූ ජොස් බට්ලර්ගේ ඉනිමක සාමාන්‍යය 23.22 කි. වසර 2019 ආරම්භයේ සිට ඉනිම 75 ක් ක්‍රීඩා කර ඇති බට්ලර් එම කාලය තුළ ලබා ඇත්තේ එකම ශතකයකි.

එංගලන්ත පිලේ තවත් කඩුලු රකින්නකු වන බෙන් ෆෝක්ස් මහත් බලාපොරොත්තු සහිතව බලා සිටියද, සිල්වර්වුඩ් මෙසේ පැවසීය:
“පළමුවෙන්ම අපට අවශ්‍ය වන්නේ ජොස්ට සාර්ථක වීමට හොඳම අවස්ථාව ලබා දීමයි.....ඔහු දැන් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුයි නේද? ඔහුත් එය දන්නවා."

මේ අතර, පාකිස්තානයට එරෙහිව තරග 3 ක් ක්‍රීඩා කිරීමට සූදානම් වන එංගලන්තය මැන්චෙස්ටර් තරගය සඳහා ස්ටුවර්ට් බ්‍රෝඩ් නැවත කැඳවීමටත් ඉඩ තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එංගලන්තයට පැමිණියේ ඔවුන්ගේ පිතිකරුවන්ට වේගවත් පන්දු යැවීමේ බලඇණියක් සමඟ ක්‍රීඩා කිරීමට ප්‍රමාණවත් ලකුණු ලබා දිය හැකිද යන්න පිළිබඳව බොහෝ සැක පහළ කරමිනි. කොදෙව් පිලේ හිටපු නායකයකු වන බ්‍රයන් ලාරාත් ඒ ගැන සැක පහළ කර තිබිණ.

එහෙත් පළමු ටෙස්ට් තරගයේදී කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම (42/6) වාර්තා කිරීමෙන් පසුව කොදෙව් පිතිකරුවෝ ලකුණු 100 කට වැඩි මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ. පසුව දෙවැනි ඉනිමේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් කරා යමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 27-3ක් ලෙස ඇද වැටිණ. එහෙත් ජර්මේන් බ්ලැක්වුඩ්ගේ පිතිහරඹය නිසා කොදෙව්වෝ තරගය ජයගත්හ. කොදෙව් පිල ජයග්‍රහණය කරා යද්දී එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් බ්ලැක්වුඩ්ට ඇනුම්පද කීවේය. එහෙත් එයින් සසල වූයේ බ්ලැක්වුඩ් නොවේ.

“මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මම ලකුණු ලබා ගැනීමට සහ මගේ කණ්ඩායම ජයටැඹ කරා ගෙන යාමට උනන්දු වුණා,”  

“ඒ වචන කිසිම වෙලාවක මාව පුදුමයට පත් කළේ නැහැ.... මොකද මම කඩුල්ලට පැමිණි පසු, ඔවුන් පීඩනයට ලක්වෙනවා මිස මා පීඩනයට පත්වෙන්නේ නෑ“ යයි බ්ලැක්වුඩ් පැවසීය.

- 213


අදහස් (0)

රූට්ගේ ආගමනය ගැන එංගලන්තය සිහින දකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.