Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

කොළඹ ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

ශානුක අරවින්ද - 2020 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ කිංග්ස් කණ්ඩායම සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම අතර සෙනසුරාදා (5 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරමට කොළඹ කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 5 කට සහභාගි වී සිටින කොළඹ කණඩායම එහිදී ලැබූ සිවුවැනි ජය මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ ඕවර 14‍.1 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියහ. කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීම සඳහා මහනුවර නායක කුසල් පෙරේරා පන්දු යවන්නන් 5 දෙනකු යොදාගත්තද, එහිදී ඔවුන්ට දවාගත හැකි වූයේ කඩුලු 3 ක් පමණි.

ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් (නොදැවී 35) සහ අෂාන් ප්‍රියන්ජන් (නොදැවී 26) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 56 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දු 39 කට මුුහුණදුන් චන්දිමාල් හතරේ පහර 7 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 27 කදී වාර්තා වූ ප්‍රියන්ජන්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කොළඹ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලෝරි එවන්ස් ලකුණු 5 කට දැවී ගියේ මුනාෆ් පටේල්ගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමනි. ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් ලකුණු 11 කට දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූ අතර නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් නායක ඇන්ලෝ මැතිව්ස් ලකුණු 2 කට දැවී ගියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර ටස්කර්ස් කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 105 කට සීමා කිරීමට කොළඹ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ අෂාන් ප්‍රියන්ජන්, ක්වායිස් අහමඩ් සහ තික්ෂිල ද සිල්වා කඩුලු 2 බැගින් දවාගනිමින් මහනුවර කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දායකත්වය සැපයූහ.

මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් පන්දු 21 කදී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඉර්ෆාන් පතන් පන්දු 27 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, ඩිල්රුවන් පෙරේරා පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද රැස්කරමින් ‍මහනුවර කණ්ඩායම ලකුණු 100 සීමාවෙන් ‍ඔබ්බට ගෙන ගියහ.

 

මහනුවර ටස්කර්ස් පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 105

(රහමනුල්ලා ගුර්බාස් 34, ඉර්ෆාන් පතන් 18, ඩිල්රුවන් පෙරේරා 12, අෂාන් ප්‍රියන්ජන් 04/2, තික්ෂිල ද සිල්වා 06/2, ක්වායිස් අහමඩ් 08/2)

කොළඹ කිංග්ස් පිල - ඕවර 14.1 කදී කඩුලු 3 ක් දැවී 108

(දිනේෂ් චන්දිමාල් නොදැවී 35, අෂාන් ප්‍රියන්ජන් නොදැවී 26)

 

 


අදහස් (0)

කොළඹ ක්‍රීඩකයෝ සිවුවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.