Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිලින්ග්ස් - විලී එංගලන්තය ගොඩගනිති

බිලින්ග්ස් - විලී එංගලන්තය ගොඩගනිති

editorial - 2020 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු 41 කදී ලකුණු 82 ක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝගේ ප්‍රහාරාත්මක ඉනිම තිබූ නමුත් සෑම් බිලින්ග්ස් (නොදැවී 46) සහ ඩේවිඩ් විලී (නොදැවී 47) එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව හේතුවෙන් දෙවැනි එක්දින තරගයේදී එංගලන්තය කඩුලු 4 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

සදම්ප්ටන්හිදී රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලකුණු 213 ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක කණ්ඩායම පන්දුවාර 32.3 කදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූයේ 2-0 ක් ලෙසින් තරගාවලි ජයග්‍රහණයද තමන් සතුකර ගනිමිනි. තරග 3 කින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබේ.

ඉලක්කය පහසු එකක් වූ නමුත් එංගලන්තයේ හඹා යාම එතරම් පහසු එකක් නොවීය. එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි  තුන්වැනි පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගිය අතර ජොනී බෙයාර්ස්ටෝ ඉවක් බවක් නැතිව පන්දු යවන්නන්ට පහර දෙමින් සිටියේය.

එහෙත් අයර්ලන්ත පන්දු යවන්නන්ගේ ධෛර්යවත් පන්දු යැවීම හේතුවෙන් ලකුණු 66 ක් තුළ පිතිකරුවෝ පස්දෙනෙක් දැවී ගියහ. හයවැනි කඩුල්ලත් අහිමි වන විට එංගලන්ත ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 137 ක් පමණි.

කෙසේ වෙතත් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ සෑම් බිලින්ස් සහ ඩේවිඩ් විලී දෙදෙනා එක්ව ලෝක ශූරයන් වන එංගලන්තය ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. පන්දු 46 කට මුහුණදුන් විලී, හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම අලංකාර කළ අතර පන්දු 61 කදී වාර්තා වූ බිලින්ස්ගේ ඉනිමට හතරේ 6 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 212 ක් ලබාගත් අතර අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කර්ටිස් කැම්පර් පන්දු 87 කදී ලකුණු 68 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට අයර්ලන්ත ආරම්භ පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩේවිඩ් විලී සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ අදිල් රෂීඩ් සහ මොයින් අලී දෙදෙනා පිට දඟ පන්දු යවමින් ඕවර 18 කදී අයර්ලන්ත පිතිකරුවන් ලකුණු 61 කට සීමා කළේ කඩුලු 4 ක් ද බෙදා ගනිමිනි.

අයර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 212
(පෝල් ස්ටර්ලින් 12, ඇන්ඩි බැල්බ්‍රීන් 15, හැරී ටෙක්ටර් 28, කර්ටිස් කැම්පර් 68, සිමි සිං 25, ඇන්ඩි මැක්බ්‍රීන් 24, ආදිල් රෂීඩ් 34/3, ඩේවිඩ් විලී 48/2, සකීබ් මහමුද් 45/2)

එංගලන්තය - ඕවර 32.3 කදී කඩුලු 6 ක් දැවී 216
(ජොනී බෙයාස්ටෝ 82, ජේම්ස් වින්ස් 16, ටොම් බැන්ටන් 15, සෑම් බිලින්ස් නොදැවී 46, ඩේවිඩ් විලී නොදැවී 47, ජොෂුවා ලිට්ල් 60/3, කර්ටිස් කැම්පර් 50/2)

-036


අදහස් (0)

බිලින්ග්ස් - විලී එංගලන්තය ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.