Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශයට සාර්ථක දිනයක්
නවතම තත්ත්වය

බංග්ලාදේශයට සාර්ථක දිනයක්

editorial - 2021 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ඕවර 90 - බංග්ලාදේශය 302/2

ඕවර දෙකක් හැරෙන්නට අද දිනයේ යැවුණු ඕවර 88 දීම සිය කඩුල්ල ආරක්‍ෂා කරගත් නජ්මුල් හොසේන්ගේ පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය.

නජ්මුල් හොසේන් නොදැවී 126
මොමිනුල් හක් නොදැවී 64
විශ්ව ප්‍රනාන්දු 17-2-61-2
ළහිරු කුමාර 19-2-63-0

.................................................................................................................................

ඕවර 80 - බංග්ලාදේශය 269/2
දිනයේ අවසානය ආසන්න වීමත් සමගම වඩාත් පරෙස්සම් වූ නජ්මුල් හොසේන් සහ මොමිනුල් හක් ඉතිරි ඕවර කිහිපයේදී තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගැනීමේ උත්සාහයක නිරත වූහ. එබැවින් පැයක් වැනි කාලයක් ඇතුළතදී බංග්ලාදේශ පිලට එක්වූයේ ලකුණු 33 ක් පමණි.

මේ අතරවාරයේදී නජ්මුල් හොසේන් සිට මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර නායක මොමිනුල් හක් ද තමන්ගේ 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

නජ්මුල් හොසේන් නොදැවී 111
මොමිනුල් හක් නොදැවී 54
ධනංජය ද සිල්වා : 16-1-71-0
වනිඳු හසරංග : 15-1-34-0

.................................................................................................................................

ඕවර 65 - බංග්ලාදේශය 236/2
තේ පානයෙන් පසුව යැවුණු 32 දී බංග්ලාදේශ පිතිකරුවන් විසින් රැස්කරගනු ලැබ ඇත්තේ ලකුණු 36 ක් පමණි. ලකුණු ගලාඒම තරමක් අඩාළ වූ නමුත් තම තමන්ගේ කඩුලු ආරක්‍ෂාකර ගැනීමට සංචාරකයෝ සමත්ව සිටිති. නායක මොමිනුල් හක් හීන්සීරුවේ තමන්ගේ පිතිහරඹය කරගෙන යන අතර ලකුණු කරා යාමේ අවස්ථාව වැඩි වැඩියෙන් හොසේන්ට බාර කිරීමට නායකයා උත්සුක වී තිබේ.

බංග්ලාදේශයේ හොඳම පිතිකරුවා වශයෙන් සැලකෙන මුෂ්ෆිකුර් රහීම් මෙන්ම කඩුලු රකින්නා වන ලිටන් දාස් ද තවමත් පිටියට පැමිණ නැත.

නජ්මුල් හොසේන් නොදැවී 92
මොමිනුල් හක් නොදැවී 40
වනිඳු හසරංග   : 8-0-22-0
ළහිරු කුමාර : 15-2-57-0

.................................................................................................................................

ඕවර 53 - බංග්ලාදේශය 200/2

තණතීරුවේදී තණකොළ යහමින් ඉතිරිකර, වේග පන්දු යවන්නන් තිදෙනකුම කණ්ඩායමට කැඳවූ නමුත් පරෙස්සමෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ තේ පානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් අවුල් කර දැමූහ.

දෙවැනි ඕවරයේදීම ආරම්භක පිතිකරු යසිෆ් හසන් ලකුණු නොලබා දැවී ගියේය. එසේ වුවත් සුභවාදීව තරගයට පිළිපන් බංග්ලාදේශ පිතිකරුවෝ ඕවරකදී ලකුණු 4 කට ආසන්න වේගයක් රඳවා ගනිමින් නොබියව ලකුණු කරා ගියේ අපේක්‍ෂා කළ තරම් සහයෝගයක් තණතීරුවෙන් පන්දු යවන්නන්ට නොලැබුණ බැවිනි.

ටමීම් ඉක්බාල් ශතකය පෙනි පෙනී දැවී ගියේය. එහෙත් නජ්මුල් හසන් සිය හොඳම ටෙස්ට් ඉනිම වාර්තා කරමින් ටමීම්ට වඩා දුරක් යන බව පෙන්නුම් කරමින් සිටී. නායක මොමිනුල්  හක් සමගින් එක්වූ නජ්මුල්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සම්බන්ධතාවක් ගොඩනඟා තිබේ.

නජ්මුල් හොසේන් නොදැවී 78
මොමිනුල් හක් නොදැවී 21
සුරංග ලක්මාල් : 11-5-34-0
වනිඳු හසරංග  : 8-0-36-0

.................................................................................................................................

ඕවර 40 - බංග්ලාදේශය 154/2

පන්දුව ඉතාම හොඳින් දකිමින් සිටි ටමීම් ඉක්බාල් ලකුණු 90 දී දැවී යයි. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් කඩුල්ලෙන් ඉවතට ඇදී යද්දී ඒ වෙත සිය පිත්ත යන්තමින් යොමුකළ ඉක්බාල්ගේ උත්සාහය වූයේ ස්ලිප් සහ ගලී කලාපය අතරින් පන්දුව හතරේ සීමාවට යැවීමයි. එහෙත් දෙවැනි ස්ලිප් හි සිටි ඕෂධ ප්‍රනාන්දුගේ අගනා උඩපන්දු රැකීමක් හේතුවෙන් ඉක්බාල්ට කඩුල්ල අහිමි විය. පැය 3 කට වැඩි වේලාවක් පිටියේ සිටි ටමීම්, පන්දු 101 කට මුහුණ දෙමින් ඒවායින් 15 ක් හතරේ සීමාවට යැවූයේය.

මෙ අතරවාරයේදී නජ්මුල් හොසේන් සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඊට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. ටමීම් සහ හොදේන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 144 කි.

නජ්මුල් හොසේන් නොදැවී 53
මොමිනුල් හක්      නොදැවී 00
ධනංජය ද සිල්වා  5-0-23-0
විශ්ව ප්‍රනාන්දු 9-1-44-2

.................................................................................................................................

ඕවර 35 - බංග්ලාදේශය 141/1

දිවා ආහාරයෙන් පසුවත් සිය අවධානය වෙනතක යා නොදී ආරක්‍ෂා කරගත් බංග්ලාදේශ පිතිකරුවෝ සුපුරුදු පිතිහරඹයේ යෙදෙමින් ඕවර 8 කදී ලකුණු 35 ක් ලබාගත්හ. ටමීම් සිය ශතකය සොයා යන අතරේ ඔහුට කදිම සහයෝගයක් දෙමින් ක්‍රීඩා කරන නජ්මුල් හොසේන් තමාගේ දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ආසන්නයේ සිටී.

ටමීම් ඉක්බාල් නොදැවී 82
නජ්මුල් හොසේන් නොදැවී 47
ළහිරු කුමාර  9-0-41-0
විශ්ව ප්‍රනාන්දු 7-0-35-1

.................................................................................................................................

ඕවර 27 - බංග්ලාදේශය 106/1

පළපුරුදු ආරම්භක පිතිකරුවා වන ටමීම් ඉක්බාල් (නොදැවී 65) සහ නජ්මුල් හොසේන් (නොදැවී 37) දෙදෙනාගේ කලබලයකින් තොරව පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් දිනයේ දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 106 ක් ලබා සිටියේය.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 98 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ ටමීම් සහ හොසේන් දෙදෙනා තණකොළ වලින් ගහණ තණතීරුවකදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තිදෙනාටම සාර්ථකව මුහුණ දුන්හ. පැය දෙකක කාලයක් ඇතුළත යවා ඇත්තේ ඕවර 27 ක් පමණක් වූවත් ඒ වෙනුවෙන් පන්දු යවන්නන් හය දෙනකුම යොදාගැනීමට ශ්‍රී ලංකා නායකයාට සිදුවිය.

සුරංග ලක්මාල් : 7-3-23-0
වනිඳු හසරංග : 2-0-03-0

.................................................................................................................................

ඕවර 20 - බංග්ලාදේශය 74/1

පළපුරුදු ආරම්භක පිතිකරුවා වන ටමීම් ඉක්බාල් (නොදැවී 51) සහ නජ්මුල් හොසේන් (නොදැවී 20) කලබලයකින් තොරවම ලකුණු සොයා යති. දෙවැනි කඩුල්ල සඳහා දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 66 කි. ඕවර 20 ක් ඇතුළත පන්දු යවන්නන් පස් දෙනකුම යොදාගැනීමට ශ්‍රී ලංකා නායකයාට සිදුවූවත් දවාගත හැකිව ඇත්තේ එකම කඩුල්ලක් පමණි.

වමත් පිතිකරුවා වන ටමීම් අලංකාර පිතිහරඹයක නිරත වෙමින් සිටී. දිවා ආහාරය දක්වා ඉතිරිව ඇති විනාඩි 14 ක කාලය තුළදී කඩුල්ල රැකගැනීම ටමීම්ගේ අපේක්‍ෂාව වී තිබේ. අනෙක් අතට බංග්ලාදේශ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය සාධාරණ මට්ටමක පවතී.

විශ්ව ප්‍රනාන්දු : 5-1-19-1
ධනංජය ද සිල්වා : 1-0-01-0

.................................................................................................................................

ඕවර 15 - බංග්ලාදේශය 59/1
පළපුරුදු ආරම්භක පිතිකරුවා වන ටමීම් ඉක්බාල් (නොදැවී 44) සහ නජ්මුල් හොසේන් (නොදැවී 13) ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ අභියෝගාත්මක ලකුණු රැස්කිරීමක නිරත වෙති. ටමීම් ඉක්බාල් තරමක් අවදානම් සහගත පිතිකරුවෙකි. වයස 19 න් පහළ ක්‍රීඩා කරන කාලයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හොඳින් ලකුණු රැස්කිරීමේ පුරුද්දක් ටමීම් ඉක්බාල්ට ඇත.

ළහිරු කුමාර : 3-0-16-0
ඇන්ජලෝ මැතිව්ස් : 2-1-02-0

.................................................................................................................................

ඕවර 10 - බංග්ලාදේශය 41/1
හයවැනි ඕවරයේදී ගැසූ හතරේ පහර 3 කින් බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු සොයා ගනිති.

සුරංග ලක්මාල් : 5-2-21-0
ළහිරු කුමාර : 1-0-01-0

.................................................................................................................................

ඕවර 5 යි - බංග්ලාදේශය 16/1

පළමු ඕවරය කිහිපයේදීම හතරේ පහර කිහිපයක් පැමිණි නමුත් ශ්‍රී ලංකා පිලට අත්කරගත හැකිවූ හොඳම සාර්ථකත්වය නම් ආරම්භක පිතිකරුවකු පිටියෙන් ඉවත්කරගැනීමයි. සුරංග ලක්මාල්ගෙන් ලකුණු 14 ක් උදුරා ගත්තද විශ්ව ප්‍රනාන්දු අගනා පන්දු යැවීමක යෙදෙමින් සිටී.

ලක්මාල් : 3-1-14-0
විශ්ව ප්‍රනාන්දු : 2-1-02-1

.................................................................................................................................

ඕවර 2 - 08/1

සිය පළමු ඕවරයේදීම බංග්ලාදේශ ආරම්භක පිතිකරු යසිෆ් හසන් දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වෙයි. කඩුල්ලට පිටින් පැමිණි විශ්වගේ පන්දුව පා ඉන්න එල්ලයේ පතිත වී මැද ඉන්න වෙත ඇදී ගියේය. එය පා ආවරණයෙන් අවහිර කෙරුණු අතර විනිසුරු කුමාර් ධර්මසේන මහතාගේ නිගමනය වූයේ එය නොදැවීමක් බවයි. එහෙත් විනිසුරු තීරණ විමසීමේදී පන්දුව මැද ඉන්නේ වදින බව තහවුරු වීමෙන් විනිසුරු තීරණය වෙනස් කිරීමට සිදුවිය.

.................................................................................................................................

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්ව සිටින අතර වනිඳු හසරංග සහ ළහිරු කුමාරත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිතිකරුවන් 7 යි පන්දු යවන්නන් 4 ක් වූවද බංග්ලාදේශය පිතිකරුවෝ 6 දෙනෙක් සහ පන්දු යවන්නෝ 5 දෙනෙක් කණ්ඩායමට තෝරාගනු ලැබ සිටිති. 

.................................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, 

බංග්ලාදේශ කණ්ඩායම

මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, සයිෆ් හසන්, නජ්මුල් හොසේන් ෂන්ටෝ, මුෂ්ෆිකුර් රහීම්, ලිටන් දාස්, මෙහෙදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, අබු ජායිද් සහ එබාදත් හොසේන්

තරග තීරක

රන්ජන් මඩුගල්ලේ

විනිසුරුවරු

කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ

 


අදහස් (0)

බංග්ලාදේශයට සාර්ථක දිනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.