Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි ක්‍රීඩකයෝ මිහිරි පළිගැනීමක

චෙන්නායි ක්‍රීඩකයෝ මිහිරි පළිගැනීමක

editorial - 2020 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2020 අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කරමින් මුම්බායි ඉන්දියන් පිල පරදවා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලබාගත් කඩුලු 5 ක විශිෂ්ට ජය සහ මිහිරි පළිගැනීමක් යයි කිසිවෙක් කියනු ඇත. ඒ පසුගිය තරග වාරයේ අවසන් මහ තරගයේදී මුම්බායි පිල හමුවේ දෝනිගේ චෙන්නායි කණ්ඩායම පරාජය වූ බැවිනි.

කෙසේ වෙතත් දින ගණනාවක් පැවැත්වෙන මෙවන් තරගාවලියකදී වඩාත් වැදගත් වන්නේ ආරම්භය නොව අවසානය කෙසේ වේද යන්නයි. චෙන්නායි වේග පන්දු යවන්නා වූ ලුන්ගි න්ගිඩි එය කදිමට පැහැදිළි කළේ සිය පළමු ඕවර දෙකේදී ලකුණු 29 ක් දුන් නමුත් අවසන් ඕවර දෙකේ පන්දු 12 කින් ලකුණු 09 ක් පමණක් දී කඩුලු 3 ක් ද දවාගැනීමෙනි.

ලකුණු 163 ක ඉලක්කය හඹා යාමේදී අම්බටි රයියදු පිත්තෙන්  දස්කම් දක්වමින් ලකුණු 71 ක් රැස් කළ අතර අති විශිෂ්ට උඩපන්දු දෙකක් රැකගනිමින් තරගය තමන් වෙත ඇදගත් ෆෆ් ඩු ප්ලෙසි නොදැවී අර්ධ ශතකයක් ලබා චෙන්නායි ජයග්‍රහණය තහවුරු කළේය. ඩුප්ලෙසි තරගය නිමා කළේ හතරේ පහරකිනි.  

තරගාවලියේ කණ්ඩායම් අතර හොඳම පන්දු යැවීමේ බල ඇණිය ඇතැයි කී මුම්බායි පිලේ ට්‍රෙන්ට් බෝල්ට්, ජේම්ස් පැටින්සන්, ජස්ප්‍රීට් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා සහ රාහුල් චාහර් යන පස්දෙනා කඩුල්ලක් බැගින් බෙදා ගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 162 ක් පමණි. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 9 ක් බිඳ වැටී තිබිණ. එහෙත් මුම්බායි පිලේ ලකුණු සංඛ්‍යාව අඩු කිරීමට මුල්වූ ක්‍රීඩකයා දකුණු අප්‍රිකානු පන්දු යවන්නා වන ලුන්ගි න්ගිඩිය.

අවසන් පන්දු 32 දී මුම්බායි පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 38 ක් පමණි. එයින් පන්දු 12 කදී ලකුණු 09 ක් පමණක් දෙමින් කඩුලු 3 ක් දවාගත් න්ගිඩි මුම්බායි සැලසුම් සියල්ලම අවුල් කර දැමීය. රවීන්ද්‍ර ජදේජා යැවූ ඕවරයකදී ලෝන්ග් ඕෆ් හි සිටි ෆෆ් ඩු ප්ලෙසි රැකගත් අති විශිෂ්ට උඩපන්දු දෙකක් හේතුවෙන් සෞරබ් තිවාරි සහ හර්දික් පාණ්ඩ්‍යා දෙදෙනාම දැවී යාමත් මුම්බායි ලකුණු සංඛ්‍යාව පහළ යාමට තවත් හේතුවක් විය.

කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කවට කමක් කරමින් කීවේ “මේ සමාජ දුරස්ථභාවය තියාගෙන අපට ස්ලිප් ක්‍රීඩකයෙක් දාන්න පුළුවන්ද දන්නේ නෑ“ යනුවෙනි. කාසියේ වාසිය අනුව තමන් පන්දු යවන්නේද පන්දුවට පහර දෙන්නේද යන්න දෝනි කීවේ ඉන් පසුවය.

ඉන්දීය පිලේ හිටපු නායකයා වන මහේන්ද්‍ර සිං දෝනි මාස 14 කට පසුව ක්‍රිකට් පිටියට පිවිසි පළමු අවස්ථාව මෙයයි. ඔහු අවසන් වරට වෘත්තීමය ක්‍රිකට් තරගයකට සහභාගි වූයේ පසුගිය වසරේ (2019) පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදීය. එම තරගයේදී ඉන්දීය පිල නවසීලන්තය හමුවේ පරාජය විය.

මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් දෝනි පසුවූ නමුත් එම තරගාවලිය ලබන වසරට කල්ගිය බැවින් මහේන්ද්‍ර සිං දෝනි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පසුගිය මාසයේදී නිවේදනය කළේය. එහෙත් අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට දෝනි එකඟ වී සිටියේය.

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 162
(රෝහිත් ෂර්මා 12, ක්වින්ටින් ඩි‘කොක් 33, සූර්යකුමාර් යාදව් 17, සෞරබ් තිවාරි 42, හර්දික් පාණ්ඩ්‍යා 14, කරන් පොලාර්ඩ් 18, ජේම්ස් පැටින්සන් 11, දීපාක් චහාර් 32/2, ලුන්ගි න්ගිඩි 38/3, රවීන්ද්‍ර ජදේජා 42/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19.2 කදී කඩුලු 5 ක් දැවී 166
(ෆෆ් ඩුප්ලෙසි නොදැවී 58, අම්බටි රයියදු 71, රවීන්ද්‍ර ජදේජා 10, සෑම් කරන් 18)

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි

- 213


අදහස් (0)

චෙන්නායි ක්‍රීඩකයෝ මිහිරි පළිගැනීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.