Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ලකුණු 90 ක ජයක්

ඉන්දියාවට ලකුණු 90 ක ජයක්

editorial - 2020 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර අද (19) පැවැති තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 90 ක් පහසු ජයක් ලැබීමට සමත් වූහ. පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තරගය වූ මෙම තරගය දකුණු අප්‍රිකාවේ බ්ලුම්ෆොන්ටෙයින්හිදී පැවැති අතර මෙය කණ්ඩායම් දෙකේම පළමු තරගය ද විය.

ලකුණු 298 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ඕවර 45.2 කදී ලකුණු 207 කට සීමාකිරීමට ඉන්දීය යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. ඉන්දීය යොවුන් නායකයා ශ්‍රී ලංකා පිතිකරුවන් මර්ධනය කිරීමට පන්දු යවන්නන් අට දෙනකු යොදා ගත්තේය.

 

නායක නිපුන් ධනංජය අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දුවට පහර දෙමින් ලකුණු 50 ක් රැස්කර නවවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. නිපුන් පහර දුන් පන්දු 59 යේදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සටහන් විය.    

ප්‍රවේගකාරී පිතිකරු අහන් වික්‍රමසිංහ බංකුවේ තබා මෙම තරගයේදී අංක හතර පිතිකරු ස්ථානයට කැඳවූ තවීෂ අභිෂේක් පන්දු 33 කින් ලකුණු 15 ක් ලබාගත්තේය.  ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රබලතම පිතිකරු ලෙස සැළකෙන කමිල් මිෂාර පන්දු 59 කින් ලකුණු 39 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. කමිල්ගේ ඉනිමට හතරේ පහර 4 කින් සහ හයේ පහරක් ඇතුළත් විය.

නවෝද් පරණවිතාන ලකුණු 6 කට දැවී යෑමෙන් ශ්‍රී ලංකා පිලේ ආරම්භය අසාර්ථක වූවද කමිල් මිෂාර සහ රවිඳු රෂාන්ත දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 87 සම්බන්ධතාව ඉන්දීය යොවුන් පිල සසළ කළේය. එහෙත් ශ්‍රී ලංකා යොවුන් පිලේ අවසන් කඩුලු හයම ලකුණු 26 ක් තුළ බිඳ වැටීමෙන් ඉලක්කය ආසන්නට හෝ ඒමට තිබූ අවස්ථාව මඟ හැරුණි.

පළමුව පන්දුවට දුන් ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව කඩුලු 4 ක් දැවී ලකුණු 297 ක් රැස්කිරීමට සමත් වූහ. ඩරුව් ජුරෙල් (නොදැවී 52) සහ සිද්දේෂ් වීර් (නොදැවී 44) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කින් ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය පිලට මෙම ලකුණු සංඛ්‍යාව ගෙන දුන්හ.

ඩරුව් ජුරෙල්ගේ පන්දු 48 ක ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. සිද්දේෂ් වීර් පන්දු 27 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 44 රැස්කළේය.

ඉන්දීය පිතිකරුවන් අවසන් ඕවර 10 තුළ ලකුණු 88 ක් රැස්කිරීමෙන් ලකුණු 297 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. අෂේන් ඩැනියල්, ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා බවට පත්වෙමින් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 39 කට කඩුල්ලක් දවාගත්තේය.  
 
ඉන්දීය යොවුන් පිලේ නායක ප්‍රියාම් ගර්ග් අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72 කින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත් විය. නායක ප්‍රියාම් ගර්ග් සහ ඩරුව් ජුරෙල් සිවුවැනි කඩුල්ලට පන්දු 67 කින් ගොඩනැගූ 63 ක සම්බන්ධතාවයෙන් ඉන්දීය යොවුන් පිල නැවතත් ශක්තිමත් විය. තිලක් වර්මා පන්දු 53 කින් රැස්කළ ලකුණු 46 ද තීරණාත්මක සාධකයක් බවට පත්විය.

ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙපළ වූ යෂාස්වි ජායිස්වල් සහ ඩිව්යාෂ් සෂින පන්දු 71 කින් ලකුණු 66 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. යෂාස්වි ජායිස්වල් පන්දු 74 කින් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 59 ක් රැස් කළේය.

ජායිස්වල් සහ සෂින පළමු ඕවර හතරේදී ලකුණු 27 ක් රැස්කරමින් ලකුණු 6.75 ක වේගයක් රඳවාගත්ත ද පස්වැනි ඕවරයේදී අෂේන් ඩැනියල් කැඳවීමත් සමඟ වේගය අඩාල විය.  ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු වටයේ සහභාගි වන දෙවැනි තරගය නවසීලන්තයට එරෙහිව බ්ලුම්ෆොන්ටෙයින්හිදී ලබන බදාදා (22 වැනිදා) පැවැත්වීමට නියමිතය.  

 

- 048


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 90 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.