Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හතුරුසිංහට වෙන තැනක්

හතුරුසිංහට වෙන තැනක්

editorial - 2019 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට...)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනියුක්ත කිරීමට අදහස් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලන්ඩන් නුවරදී ‘ලංකාදීප’යට පැවසීය.

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ප්‍රදර්ශනය කළ පසු බෑම පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුඵ සියලුම පුහුණුකරුවන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර තිබේ.

වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලුවිස් යන මහත්වරු ද ඒ අනුව ඉවත්කිරීමට නියමිතය.

“ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවන වැටුපට ප්‍රතිලාභයක් නැත්නම් තියාගෙන වැඩක් නෑ. හතුරුසිංහට අපි මීට පෙරත් මේක කියලා තියෙනවා. අපි පාලකයන් ලෙස ඒ තීරණය ගන්න වෙනවා. නැත්නම් ජනතාව අපිටයි දොස් කියන්නේ”

“හතුරුසිංහ මහත්මයා ඉවත්වෙන්නේ නෑ කියනවා නම් අපිට විකල්ප තියෙනවා. අපි ඔහුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එසේ නැත්නම් ඇකඩමියට දානවා. නැත්නම් වෙන මොනවා කරන්නද?”

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පෙරේදා (08) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ මහතා පවසා තිබුණේ තමන්ට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවත් ඒ වන තෙක් ඉවත් වීමට අදහස් නොමැති බවත්ය.

“හතුරුසිංහ සහ ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමක් තියෙනවානේ. එහි ක්‍රිකට් ආයතනයටත් බලතල තියෙනවා” යැයි ක්‍රිකට් ආයතනයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මීට පෙර දකුණු අප්‍රිකානු සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමේ අදහසින් ඒ මහතා හිටි හැටියේ ශ්‍රී ලංකාවට කැඳවුවද පසුව එම තීරණය අතහැර දැම්මේය.

එහිදී ක්‍රිකට් ආයතනය පැවසුවේ ලෝක කුසලාන තරගාවලිය සැළසුම් කිරීමට හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වාගත් බවයි.

හතුරුසිංහ මහතා 2018 වසරේ ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඒ මහතාගේ සේවා ගිවිසුම 2020 වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිතය.

 


අදහස් (1)

හතුරුසිංහට වෙන තැනක්
  • Prabash Thursday, 11 July 2019 08:43 AM

    හතුරුසිංහගේ නෙමේ වැරැද්ද තේරීම්කාරක සභාවේ ඉන්න අයගෙයි . තේරීම් කමිටුවයි ඉල්ලා අස්වෙන්න ඕනේ ..අපක්ෂපාති කමිටුවක් ඕනේ ලංකාවේ ක්‍රිකට් ගොඩගන්නනම් ....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.