Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යෝගා සර් සමුගනී

යෝගා සර් සමුගනී

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවකු සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ යෝගානන්ද විජේසුන්දර මහතා අද (14 ) දා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි යෝගානන්ද විජේසුන්දර මහතා මියයන විට 75 වැනි වියෙහි පසුවූ අතර ඒ මහතාගේ අවසන් කටයුතු මෙම 17 (ඉරිදා) පස්වරු 5 ට පිළිමතලාව, අරඹේගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

සුප්‍රකට මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩාව සහ සමාජය පිළිබඳව පුළුල් දැනුමක් ඇති දේශකයකු ලෙස ප්‍රකට විජේසුන්දර මහතා   ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇසූ පිරූ තැන් ඇති ජ්‍යෙෂ්ඨයෙකි. ඔහුගේ සිසු සිසුවියන් ‘යෝගා සර්’ ලෙසද සමකාලීනයන් ’යෝගා’ ලෙසද හඳුන්වන ලද විජේසුන්දර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට ගුරුහරුකම් දුන් අයෙකි.

යෝගානන්ද විජේසුන්දර 60 දශකයේ ඇහැළියගොඩ ප්‍රදේශයෙන් බිහිවූ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටව සිටියේය. කාලයාගේ ඇවෑමෙන් හෙතෙම වොලිබෝල් ක්‍රීඩාව අතහැර දැමූ අතර මීටර 110 කඩුලු ඉසව්වෙන් දස්කම් දැක්වීය.  1962 වසරේදී ක්‍රීඩා නිලධාරියෙකු ලෙස පත්වීම් ලැබූ හෙතෙම සිය රාජකාරිය ආරම්භ කරන ලද්දේ බණ්ඩාරවෙල ක්‍රීඩා නිලධාරියා ලෙසිනි.

වසර 40 කට වැඩි කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සේවය කළ හෙතෙම ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 කට වැඩි පිරිසක් ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස බිහිකොට ඇත.

තිලකා ජිනදාස, ජයමිණි ඉලේපෙරෙැම, චාන්දනී ජයවීර, දිලීමා පීටර්සන්, අයි. පී. සුමිත්‍රා, පැටී්‍රෂියා ක්ලෙමන්ට්, පද්ම කුමාර අමසේකර සහ මංජුල රාජකරුණා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විජේසුන්දර මහතාගේ පුහුණුකාරිත්වය යටතේ බිහිවූ පිරිස අතර ඉදිරියෙන් සිටිති. මීට අතරව ජාතික ක්‍රීඩා විද්‍යායතනය හරහා ඩිප්ලෝමාධාරීන් රැසක් බිහිකොට ඇති ඔහු ජාතික ක්‍රීඩා පාසල ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් ලෙස උසස් කරලීම සදහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකොට ඇත. එහි ප්‍රථම අධ්‍යක්ෂවරයා   ලෙසද හෙතෙම ඉතිහාසගත විය.

“ජාතික මට්ටමින් වාර්තාවක් තැබූ හෝ ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවී ජයග්‍රහණය ලැබූ පමණින් කිසිවෙකුට කිසිම ක්‍රීඩාවක හොඳ පුහුණුකරුවකු විය නොහැකියි”

“අද සිටින බොහෝ පුහුණුකරුවන්ට (විශේෂයෙන් මලල ක්‍රීඩා) පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රායෝගික හෝ න්‍යායාත්මක දැනුමක් නැහැ. ඒ නිසා ඇතැම් පුහුණුකරුවන් යැයි කියන පිරිස අන්තර් ජාලයෙන් හෝ වෙනත් පුහුණුකරුවකුගේ පුහුණු ක්‍රමවේදයන් කොපි කරමින් පුහුණු කටයුතුවල නියලෙන බව පේනවා” යැයි කලකට ඉහත කෙළිමඬල සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී යෝගානන්ද විජේසුන්දර මහතා පැවසීය.

“අද ලෝකයේ සෑම ක්‍රීඩා ජයග්‍රහණයක්ම මුදල් මත තීරණය වීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ද කෙටි සහ අනියම් මාර්ග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට පෙළඹී ඇති බවත් එවැනි පසුබිමක් මත කොතරම් දක්ෂතාවලින් හෙබි ක්‍රීඩකයින් හෝ ක්‍රියාත්මක වුවත් ඉදිරි ගමන කෙටි විය හැකියි” යයි විජේසුන්දර මහතා එදා පැවසීය.

ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සැලකෙන කේ. එල්. එෆ් විජේදාස, නැසීගිය ලක්ෂ්මන් ද අල්විස්, නැසීගිය බි්‍රගේඩියර් පැරී ලියනගේ, නැසීගිය ඩර්වින් පෙරේරා සහ දැනට ගම්පොළ ප්‍රදේශයේ රෝගාතුරව සිටින එස්. එම්. ජී. බණ්ඩාර යන මහත්වරුන්ගේ සමකාලීනයකු මෙන්ම හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන යෝගානන්ද විජේසුන්දර මහතා කලක් අක්ෂි ආබාධයකට ගොදුරුවී සිටියේය.

තිදරු පියෙකු වූ යෝගානන්ද විජේසුන්දර මහතාගේ දේහය දැනට පිළිමතලාව, ඉද්දෙවෙල අංක 298/2 දරන ස්ථානයේ තැන්පත් කොට ඇත.

ඡායාරූපය සහ පැරණි ඡායාරූප පිටපත් කිරීම : චමිල් රූපසිංහ

 

 


අදහස් (1)

යෝගා සර් සමුගනී
  • wijith Friday, 15 November 2019 10:18 AM

    ඔබට නිවන් සුවය ලැබේවා !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.