Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙරළ වොලිබෝල් සංචිතයේ කළබලයක්

වෙරළ වොලිබෝල් සංචිතයේ කළබලයක්

editorial - 2022 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සුදුසුකම් තරග වටයට සූදානම් කළ ජාතික වෙරළ වොලිබෝල් පුහුණු සංචිත (කාන්තා හා පිරිමි) දෙකෙන් වොලිබෝල් සම්මේලනය දැනුවත් නොකරමින්  ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර  ගැනීමට දැරූ උත්සාහය කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවට සැක කළ හැකි යයි චෝදනා එල්ල වී තිබේ.

වොලිබෝල් සම්මේලන ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට මෙම ප්‍රශ්නය හමුවේ  මීගමුවේ ස්ථාපිත කර තිබෙන ජාතික වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිතයන්හි නේවාසික පුහුණුවීම්වලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. පුහුණු සංචිතවලින් ඉවත්ව ගිය ගුවන් හමුදා ක්‍රීඩක  ක්‍රීඩිකාවන් ගුවන් හමුදාපතිවරයාගේ නියෝගයකින් යළිත් අද (14) සංචිත වෙත වාර්තා කර තිබේ.

එසේ වුවත් කාන්තා සංචිතයේ පුහුණුවීම් සඳහා අද දිනයේදීත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සහභාගිවීමෙන් වැළකි තිබේ. එංගලන්තයේ ‘මැංචෙස්ටර්’ නුවරදී ජුලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ආසියානු කලාපයෙන් වෙරළ වොලිබෝල්  කාන්තා හා  පිරිමි කණ්ඩායම් දෙක නිර්දේශ කර ගැනීම සඳහා මෙම 18-19 දෙදින මීගමුව වෙරළ උද්‍යානයේ දී සුදුසුකම් ලැබීමේ තරග වටය පැවැත්වේ.

ඒ සඳහා සත්කාරක ශ්‍රී ලංකාව හැරෙන්නට මාලදිවයින, මලයාසියාව, සිංගප්පූරුව යන රටවල් සහභාගි වේ.

ගුවන් හමුදා වොලිබෝල් ක්‍රීඩා සමාජයේ ප්‍රධානියෙකුගේ නියෝගයකින් ජාතික වෙරළ වොලිබෝල් සංචිත දෙකෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

එහෙත් ඊට හේතුවූ කාරණා පිළිබඳව තමන් කිසිවක් දැනුවත් වී නැති බවත් තරගාවලිය ආරම්භ කිරීමට දින කීපයක් පමණක් ඉතිරිව තිබියදී වාර්තා වූ මෙම සිදුවීමෙන් තමන් මහත් අපහසුතාවයට පත් වූ බවත් ශ්‍රී ලංකා  වොලිබෝල් සම්මේලනය ගුවන් හමුදාපතිවරයාට දැනුම් දී තිබේ.

 මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන්  පුහුණු සංචිත බාරව කටයුතු කරන පින්ලන්ත ජාතික වෙරළ වොලිබෝල් පුහුණුකරු සැල්වින් රම්ඩෝ මහතා සිය දැඩි කනස්සල්ල පළකර  තිබේ.

මේ සම්බන්ධයෙන් අද (14) පස්වරුවේ දී ලැබුණ අලුත්ම ආරංචි මාර්ගයකින් කියවුණේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පුහුණු සංචිතයට වාර්තා කළත් සිය ක්‍රීඩා සමාජ ප්‍රධානින්ගෙන් උපදෙස් ලැබෙන තුරු පුහුණුවීම් සඳහා සහභාගිවීමෙන් තවදුරටත් වැළකී සිටින බවයි.

කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා තමන්ගේ අනුදැනුමකින් තොරව  ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වෙරළ වොලිබෝල් පුහුණු සංචිත දෙකෙන් ආපසු කැඳවීමට මුල් අවස්ථාවේදී ගත් තීරණය බරපතළ සිදුවීමක් ලෙස තමන් සළකන බව මෙම සිදුවීමේ දී වොලිබෝල් සම්මේලනය අවධාරණය කර තිබේ.

වාර්තාවන පරිදි මෙම සිදුවීමට ආසන්නතම හේතුව තේරීම් සම්බන්ධයෙන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ විරෝධය බවද පැවසේ. පොදුරද මඬුලු සුදුසුකම් තරග වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් නිර්දේශ කෙරෙන ජාතික  වෙරළ වොලිබෝල් පුහුණු සංචිත අවසන් තේරීම්වල දී ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් හය දෙනෙකු බැගින් තෝරාගෙන තිබේ.

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් සංචිතයේ කළබලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.