Last Update  :  2024-05-17 18:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball රන් කුසලානයට කණ්ඩායම් 2500 ක්

රන් කුසලානයට කණ්ඩායම් 2500 ක්

Nisanka Sandeepani - 2017 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන 2018 වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මට්ටමේ වොලිබෝල් තරගාවලි අටකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලියක් ලෙස මෙවර ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලිය නම් කිරීමට ශ්‍රී ලංකා වෙලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් 12 වැනි වරටත් පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන 16 දා කෑගල්ල දිස්ත්‍රික් තරගාවලියෙන් රුවන්වැල්ල රාජසිංහ මැදි මහ විදුහල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. 

මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් 2500 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40000ක් ඉක්මවූ සංඛ්‍යාවක් සහභාගී වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

මෙම තරගාවලිය විවෘත පිරිමි සහ කාන්තා වශයෙන්ද වයස අවු 22 පහළ පිරිමි සහ කාන්තා වශයෙන් කොටස් 4 කින් සමන්විත වේ. සෑම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම තම ග්‍රාමසේවා නිළධාරී කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි වී ඇති ක්‍රීඩා කණ්ඩායමක සමාජිකයෙක් වීම තරගාවලියේ විශේෂත්වයකි.

මෙම තරගාවලිය යටතේ සෑම දිස්ත්‍රික්කයකින්ම වොලිබෝල් කණ්ඩායම් 8ක් (ශූරයන් සහ අනුශූරයන් වශයෙන්) ජාතික මට්ටමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් තරගය දෙසැම්බර් 18 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණසේවා මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම තරගාවලිය නිම වීමෙන් පසු එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අනුව ජාතික වොලිබෝල් (පිරිමි සහ කාන්තා) සංචිතය ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමටද වොලිබෝල් බලධාරීහු සූදානම් වෙති.

2018 වසරේදී ආසියානු ක්‍රීඩා සමාජ පිරිමි තරගාවලිය සහ කාන්තා තරගාවලිය, ආසියානු කුසලාන පිරිමි තරගාවලිය සහ කාන්තා තරගාවලිය, වයස අවු 19න් පහළ කාන්තා තරගාවලිය, වයස අවු 20න් පහළ පිරිමි තරගාවලිය, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය යන වොලිබෝල් තරගාවලි පැවැත්වීමට නියමිතය.

2017 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය හඳුන්වා දීමේ උළෙල ඊයේ (6 දා) ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සහ ඇමති රංජිත් සියඹලාපිටිය සහ ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා වොලිබෝල් ක්‍රීඩාවේ නියමිත ඉලක්ක හඳුනා ගෙන ක්‍රිඩාව ඉදිරියට ගෙන යාමට සියලු සැලසුම් සකස් කරමින් පවතින බවත් පසුගියදා පැවති වොලිබෝල් ජාතික සමුළුව මඟින් ලොව ජයගත හැකි ඉලක්ක හඳුනා ගැනීමට අවස්ථාව හිමි වූ බවත් පැවසීය. 

ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා විසින් ජනාධිපති රන් කුසලානය ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සහ ඇමති රංජිත් සියඹලාපිටිය මහතාට බාරදෙන ලද අවස්ථාව.

 
ඡායාරූපය - ප්‍රදීප් දිල්රුක්‍ෂණ

 


අදහස් (0)

රන් කුසලානයට කණ්ඩායම් 2500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.