Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මධ්‍යම ආසියානු වොලිබෝල් මහලේකම් පුටුව නාලකට

මධ්‍යම ආසියානු වොලිබෝල් මහලේකම් පුටුව නාලකට

editorial - 2024 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 14 ක් නියෝජනය කරන මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහ ලේකම්ධුරය සඳහා (2024 – 28) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක මහතා නිතරගයෙන් පත්ව සිටියි.

තායිලන්තයේ බැංකොක් නුවරදී නොබෝදා පැවැති එම සම්මේලනයේ නිලවරණයේදී මහලේකම් ධුරයට නාලක මහතා නිතරගයෙන් පත් වෙන්නේ ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කර සිටි ඉරානයේ අපේක්ෂකයාගේ ඉවත්වීමෙනි.
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය 1993 දී ස්ථාපිත කිරීමෙන් පසුව එහි මුල් පුටුවකට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට එහිදී නාලක මහතා පත්ව සිටියි. මෙම නිලවරණයේදී සම්ෙම්ලනයේ සභාපති ධුරයට නිතරගයෙන් පත්වූයේ මාලදිවයින් ජාතික මොහොමඩ් ලතීෆ් මහතාය.

දකුණු හා මධ්‍යම සහ ආසියානු කලාප දෙකට අයත් රටවල් 14 ක් මෙහි සාමාජිකත්වය දරන අතර එය කලාප ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයක සාමාජිකත්වය දරන වැඩිම රටවල් ගණන වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉරානය, පාකිස්ථානය, මාලදිවයින, නේපාලය, බංගලාදේශය, භූතානය, කසකස්ථානය, කිරිකිස්ථානය, උස්බෙකිස්ථානය, තජිකිස්ථානය, තුර්ක්මෙනිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් එහි සාමාජිකයෝ වෙති.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ වත්මන් විධායක සභාවේ පත්වීම අවුරුදු 4 ක කාලයක් සඳහා වේ. මේ වන විට මධ්‍යම ආසියානු (පිරිමි) වොලිබෝල් ශූරතාව  දිනාගෙන සිටින්නේද ශ්‍රී ලංකාව විසිනි.

නව මහ ලේකම් නාලක මහතා මේ වන විට ආසියානු වොලිබෝල් සම්මේලනයේ සංවර්ධන හා අලෙවි කමිටුවේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරය ඔහු හොබවන්නේ වසර 2015 සිටය. ඔහු ක්‍රීඩකයෙකු ලෙස ජාතික හා ජාතික යොවුන් (පිරිමි) කණ්ඩායම් නියෝජනය කරමින් තරුණ අවධියේ දෙස් විදෙස් තරග මාලා ගණනාවකට සහභාගි වී තිබේ. එහිදී පොලිස් හා තරුණ සේවා වොලිබෝල් කණ්ඩායම්හි නායකත්වය ද දරා තිබේ.
 රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල හා කෑගල්ල මහ විදුහලේ ආදි සිසුවෙකු වන නාලක මහතා ජාතික තරුණ සේවා සභාවේ කලක් ක්‍රීඩා කණ්ඩායම් භාර නිලධාරි ලෙස කටයුතු කර තිබේ.

පසුව ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වුණු ඔහු පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙසත් සේවය කර ඇත. මේ වන විට ‘ලංකා ටයිල්ස්’ ආයතනයේ සමූහ ප්‍රවර්ධන කළමනාකරු ලෙස වෘත්තියෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සත්කාරය දරන මධ්‍යම ආසියානු (කාවා) වයස 20 න් පහළ වොලිබෝල් (පිරිමි) තරගාවලිය ලබන අගෝස්තු මාසයේදීත් කාවා වෙරළ වොලිබෝල් තරගාවලිය ඔක්තෝබර් මාසයේදීත් පැවැත්වේ.

 ඒ සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේ භාරදූර කටයුත්ත නව තනතුර හමුවේ තමන්ට පැවරී තිබෙන බව නාලක මහතා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

මධ්‍යම ආසියානු වොලිබෝල් මහලේකම් පුටුව නාලකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.